මෝදි ඇමෙරිකා ජනපති අමතයි



ඉන්දීය අගමැති න්රේන්ද්‍ර මෝදි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ඇමතුමක් දී, ඉන්දු කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් කළ බව ඉන්දීය රජය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

රාජ්‍ය නායකයන් දෙදෙනාගේ දුරකතන කතාබහ මිනිත්තු 30 කට සීමා විය. ඉන්දියාවට අයත් කාශ්මීරයට ලබා දී තිබුණු විශේෂිත බලතල ඉන්දීය රජය විසින් අහෝසි කර දැමීම සහ ඒ සමඟ හටගත් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අගමැති මෝදි සහ ජනාධිපති ට්‍රම්ප් අතර හමුවක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට පවසා ඇත්තේ, ඉන්දියාවත් පාතිස්තානයත් අතර සාමය පැවැතීම වැදගත් බවත්, කලාපීය ආරක්ෂාවට සාමකාමී පරිසරයක් නිර්මාණය කිරීමට ඉන්දියාව හැකි සෑම පියවරක්ම ගත යුතු බවත්ය.

කාශ්මීරය සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වූයේ ඉන්දියාවට නිදහස හිමිවී, පාකිස්තානය ලෙස නව රාජ්‍යයක් බිහිවෙද්දීය. ජම්මු, කාශ්මීර් සහ ලඩාක් පළාත් ඉන්දියාව සමඟ එක්වුණු අතර, ඉතිරි කාශ්මීර පළාත් පාකිස්තානය සමඟ එක් විය.

ඉන්දු කාශ්මීරය ලෙස සැලකෙන්නේ ජම්මු, කාශ්මීර් සහ ලඩාක් යන පළාත්ය. ජම්මු සහ කාශ්මීර් මුස්ලිම් වැසියන් බහුතරයත් වෙසෙන පළාත් වෙයි. ඉන්දීය ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය යටතේ ඉන්දියාවට අයත් කාශ්මීරයට විශේෂිත බලතල ලබා දී තිබුණු අතර මේ වනවිට එම බලතල අහෝසි කරනු ලැබ ඇත.
ඉන්දු කාශ්මීරයේ මුස්ලිම් දේශපාලනඥයන් නිවාස අඩස්සියට ගැනීම, ඇඳිරි නීතිය පැනවීම, දුරකතන සහ අන්තර්ජාල සේවා අත්හිටුවීමට ඉන්දීය රජය පියවර ගත්තේය. ඒ, කලබල වේවි යැයි බියෙනි. කෙසේ නමුත් මේ වනවිට ඉන්දු කාශ්මීර වැසියන්ට පැනැවූ ‘තහංචි’ එකිනෙක ඉවත් කිරීමට ඉන්දීය රජය පියවරගෙන තිබේ.

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ප්‍රමුණ රජය චෝදනා කරන්නේ ඉන්දු කාශ්මීර වැසියන්ට ඉන්දීය රජයෙන් විශාල අසාධාරණයක් සිදුවුණු බවය. ඉන්දියාව උපාය මාර්ගිකව ව්‍යවස්ථාවට අනුකූලව ජම්මු කාශ්මීර වැසියන් මර්දනයට ලක් කළ බවය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයකු වන චීනය ද ඉන්දියාවට අප්‍රසාදය පළ කර ඇත. ඉන්දු කාශ්මීර අර්බුදය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හමුවේ විවාදයට ගැනුණි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ පැවැති දුරකතන සන්වාදයේදී ඉන්දීය අගමැති මෝදි වැඩිදුරටත් පවසා ඇත්තේ තම රජය ඉන්දු කාශ්මීර වැසියන්ගේ යහපත වෙනුවෙන් ගත් මෙම තීරණය ‘අර්බුදයක්’ බවට පත් කර ඇත්තේ ත්‍රස්තවාදයට උඩගෙඩිදෙන සහ අනුග්‍රහය දක්වන පාකිස්තානය බවය. පාකිස්තාන රජය සහ බුද්ධි අංශය අයි.එස්. සහ තලේබාන් ත්‍රස්තවාදීන්ට සහාය දක්වන බවට ඇමෙරිකා බුද්ධි අංශ පවා චෝදනා කර තිබේ.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS