මුගාබේගේ අවසන් කටයුතු



සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේගේ අවසන් කටයුතු හරාරේ අගනුවර ජාතික ක්‍රීඩාංගනයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරේ.

හිටපු ජනාධිපතිවරයාට අවසන් ගෞරව දැක්වීමට, වත්මන් ජනාධිපති එමර්සන් මුනගැග්වා ඇතුළු අප්‍රිකානු රටවල රාජ්‍ය නායකයන් සහ නියෝජිතයෝ පැමිණියහ. දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා, ගිනි රාජ්‍යයේ ජනාධිපති තියෙඩෝ ඔබියැං ඒ අතර සිටියහ.

ජනතා වීරයකු ලෙසත්, ඒකාධිපති පාලකයකු ලෙසත් ජනපති ධුරයේ කටයුතු කළ මුගාබේ 2017 දී එම ධුරයෙන් ඉවත් කිරීම සිදුවූයේ හමුදා කුමන්ත්‍රණයකිනි. එය මෙහෙයවීම කළේ මුනගැග්වාය.

පසුගිය මාස ගණනාවේ රොබට් මුගාබේගේ සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය. ඔහු මියගියේ එසේ ප්‍රතිකාර ලබමින් සිටිද්දීය. මුගාබේගේ දේහය පසුගිය සිකුරාදා (13) සිංගප්පූරුවේ සිට සිම්බාබ්වේ රාජ්‍යය බලා රැගෙන ආවේ විශේෂ ගුවන් යානයකිනි.

මුගාබේගේ අවසන් කැමැත්තට අනුව, දේහය මුගාබේ උපන් නගරයේ භූමදානය කිරීමට සූදානම් වුවත්, වත්මන් ජනාධිපති එමර්සන් මුනගැග්වාගේ බලවත් ඉල්ලීම මත රාජ්‍ය ගෞරව මැද සිම්බාබ්වේ විරුවන් වෙනුවෙන් වෙන් කළ සුසාන භූමියේ දේහය භූමදානය කිරීමට නියමිතය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS