මුගාබේ ඉල්ලා අස්වෙයි



තමා ජනපති ධුරයෙන් ඉවත් කළ හැක්කේ දෙවියන් වහන්සේට පමණයි යැයි පැවැසූ සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ, එරට හමුදාවේ බලකිරීම් මැද ඊයේ (21) සිය ධුරයෙන් ඉල්ලා අස්වූ අතර එම අවස්ථාවේදී සිම්බාබ්වේ වැසියෝ වීදි බැස ප්‍රීති ඝෝෂා කරන්න වූහ.

මුගාබේගේ 37 වසරක පාලනය අවසන් වීමත් සමඟ නව ජනාධිපති ලෙස මුගාබේ බලයේ සිටිද්දී උප ජනපති ලෙස කටයුතු කළ එමර්සන් මුනගැග්වා පත් වුණු ඇතැයි පාලක පක්ෂය වන ‘සානු දේශප්‍රේමී පෙරමුණ’ පවසා තිබේ.

කාගේවත් බලපෑමට තමන් ධුරයෙන් ඉවත් වන්නේ නැතැයි දැඩි ස්ථාවරයක සිටි මුගාබේ ධුරයට සමුදුන්නේ ‘සානු දේශප්‍රේමී පෙරමුණෙන් ද බලපෑම් එල්ල වීම නිසා යැයි ද පැවැසෙයි. ඒ අනුව, දෙවියන්වහන්සේට නොහැකි වුණත් හමුදාව මුගාබේ ගෙදර යැවුවේ යැයි සිම්බාබ්වේ මාධ්‍ය වාර්තා කළේය.

හමුදාව රටේ බලය අල්ලා ගැනීමෙන් පසු, සානු දේශප්‍රේමී පෙරමුණ පක්ෂය ඉකුත් දා පක්ෂ නායකත්වයෙන් මුගාබේ නෙරපා දැම්මේය. ගෞරවය රැක ගෙන ධුරයෙන් ඉවත් වෙන්නැයි ඔවුහු මුගාබේට පැවැසීය. ඒ සඳහා පැය 24 ක් ද ලබා දුන්නේය. කෙසේ නමුත් ධුරයෙන් ඉවත් වීම මුගාබේ දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව, මුගාබේට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන ලදි. දෝෂාභියෝග විවාදය පාර්ලිමේන්තු තුළ පැවැත්වෙන අවස්ථාවේදී මුගාබේ කියා සිටියේ තමා ධුරයෙන් ඉවත් වන බවය.  93 හැවිරිදි මුගාබේ ජනාධිපතිධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව නිවේදනය කරනු ලැබුවේ කථානායක යාකෝබ් මුඩෙන්ඩා විසිනි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS