මියන්මාර මහ මැතිවරණය නොවැම්බර් 8 වැනිදා



මියන්මාර මහ මැතිවරණය ලබන නොවැම්බර් 8 වැනිදා පැවැත්වීමට තීරණය කළ බව එරට මැතිවරණ කොමිසම නිවේදනය කළේය.

මෙම මැතිවරණය මියන්මාර නිල නොවන නායිකා අවුන් සාන් සූ කීගේ ප්‍රජාතන්ත්‍රවාදී රජයේ ජනප්‍රියත්වය උරගා බැලීමට සමත් වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ලබන නොවැම්බර් 8 වැනිදා පැවැත්වෙනු ඇත්තේ, බහු පක්ෂ සහභාගීත්වයෙන් පැවැත්වෙන මහ මැතිවරණයක් යැයි ද මියන්මාර මැතිවරණ කොමිසසේ සභාපති හෙලා තියැන් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.

2015 දී, අවුන් සාන් සූ කී ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, අති විශිෂ්ට ජයක් හිමි කරගත්තේ, දශක ගණනක් තිස්සේ පැවැති මියන්මාර හමුදා ජුන්ටාව පරාජය කරමිණි. සූ කී ප්‍රමුඛ ඇගේ රජයට ජාත්‍යන්තරයේ පැසැසුම් හිමිවිය. සූ කී විවාහ වී සිටියේ බි්‍රතාන්‍ය ජාතික මයිකල් ඒරිස් සමඟය. එහෙයින්, මියන්මාර ව්‍යවස්ථාවට අනුව, ඇයට රටේ ජනාධිපති ධුරයට පත් විය නොහැකි විය.

නිල නොවන නායිකාව ලෙසත්, විදේශ ඇමැතිනිට ලෙසත්, රජයේ ප්‍රධාන උපදේශක ලෙසත් සූ කී කටයුතු කරන්නේ ඒ නිසාය. මියන්මාර හමුදා ජුන්ටාව (හමුදා පාලනය) පැවැති සමයේ සූ කී වසර ගණනාවක් නිවාස අඩස්සියේ පසුවූවාය. ඒ, මියන්මාර හමුදා රජයට ඇය තර්ජනයක් වූ බැවිනි. අද වනවිට 75 හැවිරිදි වියෙහි පසුවන සූ කී නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලබා ඇත. ඒ, 1991 වසරේදීය.

මියන්මාරයේ රොහින්ග්‍යා සුළු ජාතික මුස්ලිම් වැසියන් මුල්කොට ගනිමින්, අවුන් සාන් සූ කී මේ වනවිට ජාත්‍යන්තරයේ අප්‍රසාදයට පත් වී සිටී. රොහින්ග්‍යා වැසියන් සමූල ඝාතනයට ලක් කිරීමට උත්සාහ ගන්නවා යැයි සූ කී සහ මියන්මාර හමුදාවට ජාත්‍යන්තරයෙන් චෝදනා එල්ල වී ඇත.

නායිපායිදේව්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS