මැලේරියා නාශක පෙත්තට අනුමැතිය



වෛද්‍ය අධීකෂණය යටතේ ‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ මැලේරියා නාශක ඔසුව ‘කොවිඞ් 19’ ආසාදිතය රෝගීන්ට ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මේ වනවිට හිමිවී ඇත.

‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් කොවිඞ් 19 රෝගයට පිළියමක් නොවෙයි. හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් කොවිඞ් 19 නසන ඔසුවක් නොවෙයි. එහෙත් වෙන විකල්පයක් නොමැති බැවින් මරණාසන්න රෝගීන්ට හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් ලබා දීම සිදුවුණා. ඒ වෛද්‍ය අධීක්ෂණය යටතේ. එම කටයුතු දිගටම කරගෙන යෑමට අප අවසර දෙනවා’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා තෙඩ්‍රෝස් ග්‍රෙබ්රියේසිස් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.

හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් වසර 40 ක් තිස්සේ මැලේරියා නාශකයනක් ලෙස භාවිතයට ගන්නා ඔසුවකි. ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත්තේ තමන් දිනකට එක පෙත්තක් බොන බවත්, ‘කොවිඞ් 19’ වයිරසයෙන් ආරක්ෂා වීමට තමන්ට හැකියාව ලැබී ඇති බවත්ය. ජනපති ට්‍රම්ප් එසේ පැවැසුවත්, වෛද්‍ය අධීක්ෂණයකින් තොරව හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් භාවිත නොකළ යුතු බවත් එය ‘කොවිඞ් 19’වලට ප්‍රතිකර්මයක් නොවන බවත් ඇමෙරිකන් වෛද්‍ය සභාව පැහැදිලි කර තිබේ.

ආන්දෝලනයට හේතුවක් වූ බැවින් හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් සම්බන්ධ සායනික පරීක්ෂණ තාවකාලිකව නැවැත්වීමට පසුගිය 25 වැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගත්තේය. ඉන්පසු හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් පැවැත්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කළේය. දැන් යළි සායනික පරීක්ෂණ සඳහා හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් භාවිතය සුදුසු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත.

කෙසේ නමුත් ‘කොවිඞ් 19’ වයිරසයෙන් ආරක්ෂා වීමට හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් භාවිත කිරීමෙන් වැඩක් නැති බවත්, එසේ කිරීමෙන් හෘද රෝග හට ගැනීමේ අවදානමක් පවතින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

ජිනීවාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS