මැක්රොන්ගේ කැබිනට්ටුව කාන්තාවන්ගෙන් පිරිලා



කලින් ප්‍රතිඥා දුන් පරිදි ස්ත්‍රී පුරුෂ සමාන නියෝජනයක් සහිත කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ප්‍රංශයේ නව ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් කටයුතු කරයි.

ඒ අනුව කැබිනට් ඇමති ධුර විසි දෙකෙන් එකොළහක් කාන්තාවන්ට හිමි වේ.

ආරක්ෂක අමාත්‍ය ධුරය සහ ක්‍රීඩා ඇමති ධුරය ද ඊට ඇතුළත්.

සිල්වි ගුලාර්ඩ් ආරක්ෂක ඇමති ධුරය සඳහාත් ෆෙන්සින් ක්‍රීඩා (කඩු හරඹවලට සමාන ක්‍රීඩාවක්) ඔලිම්පික් ශූරියක වන ලෝරා ෆ්ලෙසල් ක්‍රීඩා අමාත්‍ය ධුරය සඳහාත් පත් කර ඇත.

සියලු දේශපාලන මතවාද නියෝජනය වන පරිදි කැබිනට් මණ්ඩලය පත් කිරීමට ජනාධිපති මැක්‍රෝන් ගත් තීන්දුව හමුවේ දක්ෂිණාංශික කණ්ඩායම් වික්ෂිප්තව ඇති බව වාර්තාකරුවෝ පවසති.

"ආර්ථික සහ මුදල් ඇමති ධුර සඳහා ජනාධිපති මැක්‍රෝන් පත් කර තිබෙන්නේ දක්ෂිණාංශික නියෝජිතයන් දෙදෙනෙක්. අභ්‍යන්තර සහ විදේශ කටයුතු සඳහා සමාජවාදීන් ද ආරක්ෂක සහ අධිකරණ කටයුතු සඳහා මධ්‍යස්ථ මතධාරීන් ද පත් කර තිබෙනවා" පැරිසියේ සිටින බීබීසී වාර්තාකරු මාක් ලොවෙන් පැවසීය.

ජනතා ඡන්දයෙන් තේරී පත් දක්ෂිණාංශික මහජන නියෝජිතයන් එකසිය හැත්තෑ දෙනෙකු ජනාධිපති මැක්‍රෝන්ට සහාය දෙන බව පවසමින් ප්‍රකාශයකට අත්සන් තැබීම තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිය ගණනක් විසින් මීට ඉහතදී විවේචනය කරනු ලැබීය.

ප්‍රංශ මහ මැතිවරණය ලබන ජුනි මාසයේ පැවැත්වීමට නියමිතය.

මධ්‍යස්ථ මතධාරියෙකු වන ජනාධිපති මැක්‍රෝන් සිය අගමැතිවරයා වශයෙන් පත් කරනු ලැබූ එදුවාර්ද් ෆිලිපේ දක්ෂිණාංශික රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයෙකි.

තිළිණි ද සිල්වා
(බී.බී.සී.)


RECOMMEND POSTS