මරණ දඩුවමින් නිදහස් කෙරේ



ඉස්ලාම් ආගමට අපහාස කිරීමේ චෝදනාවට මරණ දඬුවම නියමවී සිටි පාකිස්ථාන ජාතික ආසියා බිබී නම් කාන්තාව නිදහස ලබා ඇත.

අදාල චෝදනාවට ඇය වසර අටක් සිරගතව සිටියාය.

ආසියා බිබී නම් පාකිස්ථාන ජාතික කිතුණු කාන්තාව අසල්වාසියෙකු සමඟ ජල බඳුනක් සම්බන්ධයෙන් ගැටුමක් ඇතිකරගෙන තිබුණු අතර ආසියා වෙනත් ආගමක් අදහන්නියක බැවින් ඇය කිළිටි බව පවසා ජල බඳුන ඇල්ලීම අසල්වැසි කාන්තාව තහනම් කර ඇති අතර ඇයට ඉස්ලාම් ආගම වැළඳගන්නා ලෙසත් එහිදී පවසා තිබේ.

2010 වර්ෂයේදී මේ සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකින් අනතුරුව ආසියා බිබී ඉස්ලාම් ආගමට අපහාස කර ඇති බව තීන්දු කර මරණ දඬුවම නියම කළේය.

එහෙත් ඇය දිගින් දිගටම ප්‍රකාශ කර සිටියේ අදාල චෝදනාවට තමා නිවැරදිකරු බවයි.

කෙසේ නමුත් ඇය වසර අටක සිර දඬුවමක් විඳ ඇති අතර පසුව තමාට පවුලේ සාමාජිකයින් සමඟ විදෙස් ගතවීමට අවශ්‍ය බැවින් නිදහස් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.

එය සලකා බැලූ පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය ආසියා බිබී නිදොස්කොට නිදහස් කිරීමට කටයුතු කළේ පසුගිය ඔක්තෝබර් 31 වෙනිදා වන අතර නිදහස ලැබූ ආසියා බිබී ගුවන් යානයකින් පිටව ගොස් ඇති නමුත් ඇයගේ ගමනාන්තය පිළිබඳව නිශ්චිත තොරතුරක් වාර්තාවී නැත.

ඇයට රැකවරණය ලබාදීමට රටවල් රැසක්ම ඉදිරිපත්වී සිටින බවද විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

( තිළිණි ද සිල්වා)

කලීජ් ටයිම්ස් ඇසුරෙනි


RECOMMEND POSTS