බ‍්‍රසීල ජනපති පුතුට ඇමෙරිකා තානාපති ධුරය



බ‍්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික ජනාධිපති ජෙයාර් බොල්සරානෝ, සිය පුතු ඇමෙරිකාවේ බ‍්‍රසීල තානාපති ලෙස නම් කිරීමට සූදානම් වන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

බ‍්‍රසීල ජනාධිපතිවරයාගේ පුතු 35 හැවිරිදි එදුවාදෝ බොල්සරානෝ එරට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකි. එපමණක් නොව, විදෙස් කටයුතු සම්බන්ධයෙන් ජනපති බොල්සරානෝගේ උපදේශකවරයකු ලෙස ද එදුවාදෝ කටයුතු කරයි.

පසුගිය අපේ‍්‍රල් මාසයේ සිට ඇමෙරිකාවේ බ‍්‍රසීල තානාපති ධුරයේ පුරප්පාඩුවක් පවතී. තානාපති ධුරය බාර ගන්නැයි ජනපති බොල්සරානෝ කළ ඉල්ලීම කෙරෙහි තමන් සලකා බලන බව පුතු එදුවාදෝ බොල්සරානෝ පවසා ඇත. තානාපති ධුරය බාර ගැනීමට නම් එදුවාදෝ ට මන්තී‍්‍ර ධුරය අත්හැරීමට සිදුවන බව පැවැසෙයි.

ජනපති බොල්සරානෝ සහ ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් අතරේ සමීප මිත‍්‍රත්වයක් පවතී. තමන් දේශපාලනික පරිණතභාවයට පත්වූයේ ට‍්‍රම්ප්ගේ ආභාෂය නිසා යැයි ජනපති බොල්සරානෝ අවස්ථා ගණනාවකදී ප‍්‍රසිද්ධියේ පවසා ඇත.

බ‍්‍රසීලියාහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS