බැලැස්ටික් මිසයිලයක් එනවෝ



දිගු දුර බැලැස්ටික් මිසයිලයක් පැමිණෙන හෙයින්, වහාම සැඟවී පණ බේරා ගන්නා ලෙස අනතුරු අඟවමින්, ඇමෙරිකාවට අයත් හවායි දූපත් වැසියන්ට  13 වැනිදා උදෑසන ලැබුණු කෙටි පණිවුඩයක් මුල්කොට ගනිමින් මහ කලබලයක් හටගත්තේය.

‘බැලැස්ටික් මිසයිලයක් හවායි බලා එනවා. වහාම සැඟවී ආරක්ෂා වෙන්න. මේක බොරුවක් නොවෙයි.’ යනුවෙන් හවායි වැසියන්ගේ ජංගම දුරකතනවලට ලැබුණු එම එස්.එම්.එස්. කෙටි පණිවුඩයේ සඳහන් විය.

පණිවුඩය දුටු හවායි වැසියෝ මහත් සේ බියට පත්වූහ. ඇතැම්හු නිවෙස්වල නානකාමර සහ වැසිකිළිවල සැඟවුණහ. තවත් සමහරු දරු දැරියන් ද වඩාගෙන නිවෙස්වලින් පිටතට පැමිණ මාර්ග දෙපස අපවහන කාණු පද්ධතියේ සැඟවුණහ.

කෙටි පණිවුඩය පළමුවෙන් ජංගම දුරකතනවලට ලැබී ඇති අතර, ඉන්පසු හවායි රූපවාහිනී සහ ගුවන් විදුලි සේවා ද එය ප්‍රසිද්ධියට පත් කළේය. පණිවුඩයේ සත්‍ය අසත්‍ය බව සෙවීමට කිසිවකු පියවර ගෙන නැත. ඊට හේතුව, හවායි දූපතේ ‘හදිසි ආපදා ඒකකය’ එම පණිවුඩය නිකුත් කර තිබීම නිසාය.

කෙටි පණිවුඩය ලැබී මහ කලබලය හටගත්තේ උදෑසන 8.07 ට පමණය. හවායි ආණ්ඩුකාර ඬේවිඞ් ඊගේ වහා මැදිහත් වී සිදුවුණේ කුමක්දැයි සොයා බැලුවේය. එහිදී හදිසි ආපදා ඒකකයේ නිලධාරියකුට සිදුවුණු අත්වැරැදීමකින් කෙටි පණිවුඩය සියලුම ජංගම දුරතකනවලට යැවුණු බව පැහැදිලි විය.

කෙටි පණිවුඩය ප්‍රසිද්ධ වී මිනිත්තු 38 කට පසු, හවායි ආණ්ඩුකාරවරයා රූපවාහිනියෙන් සහ ගුවන් විදුලියෙන් හවායි වැසියන් අමතමින් කියා සිටියේ බිය නොවන ලෙසය. කෙටි පණිවුඩය අත්වැරදීමක් බව ද ඔහු වැඩි දුරටත් පැහැදිලි කළේය. ඒ ගැන සමාව ඉල්ලීමට ද ආණ්ඩුකාරවරයා පියවර ගත්තේය.

සිදුවුණේ කුමක්දැයි සොයා බලන බවත්, අතපසුවීමෙන් පණිවුඩය යැවූ නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ පවත්වා අදාල පියවර ගන්නා බවත් ආණ්ඩුකාරවරයා වැඩි දුරටත් කියා සිටියේය.

‘අපි ඉන්නේ බොහොම අවදානම් තත්ත්වයක. උතුරු කොරියාවෙන් තර්ජන එල්ල වෙනවා. කොයි මොහොතේ හෝ මිසයිල ප්‍රහාරයක් එල්ල වෙන්න බැරි නැහැ. ඒ නිසා සැමවිටම අප විමසිල්ලෙන් සිටිය යුතුයි. අනතුරු ඇඟවීම් නිකුත් කරද්දී බොහොම කල්පනාවෙන් සහ වගකීමෙන් කටයුතු කළ යුතුයි.’ යැයි හෙතෙම මාධ්‍ය හමුවේ අවධාරණය කළේය.

ඇමෙරිකාවත් උතුරු කොරියාවත් අතර යුද උණුසුමක් පවතී. මේ නිසා හවායි දූපත් රාජ්‍යයේ අනතුරු ඇඟවීමේ පද්ධතියක් ක්‍රියාත්මක වෙයි. සක්‍රීය වී කෙටි පණිවුඩ නිකුත් වී ඇත්තේ එම පද්ධතිය හරහාය. උතුරු කොරියාව අනතුරු ඇඟවීම් කර ඇත්තේ ඇමෙරිකාව ඉලක්ක කර ගනිමින් බැලැස්ටික මිසයිල ප්‍රහාර එල්ල කරන බවටය. බැලැස්ටික් මිසයිල යනු එක් මහද්වීපයක සිට තවත් මහද්වීපයකට විදිය හැකි මිසයිලය. මේවාට න්‍යෂ්ටික යුද ශීර්ෂ සවි කර ඇත්නම් සිදුවන විනාශය අතිමහත්ය.

උතුරු කොරියාවෙන් එවැනි මිසයිල ප්‍රහාරයක් එල්ල වුවහොත්, එම මිසයිල උඩු ගුවනේදීම විනාශ කර දැමීමට ප්‍රති මිසයිල පද්ධතියක් ද ඇමෙරිකන් හමුදාව සතුය. කෙසේ නමුත් උතුරු කොරියාව එකවර මිසයිල රැසක් ඇමෙරිකාව ඉලක්ක කර ගනිමින් එවනු ලැබුවොත්, ඇමෙරිකන් ප්‍රතිමිසයිලවලින් බේරී එක් මිසයිලයක් හෝ ඇමෙරිකාවට පතිතවීමේ අවදානමක් ද පවතී.

උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාරයක් එල්ල වේවි යැයි බියෙන් හවායි දූපත් වැසියෝ සැකයෙන් සහ බියෙන් ජීවත් වෙති. වැරැදීමෙන් ලැබුණු කෙටි පණිවුඩයත් සමඟ මහත් කලබලයක් නිර්මාණය වූයේ ඒ නිසාය.

මෙම අනතුරු ඇඟවීම නිකුත් වී කලබලය හටගත් අවස්ථාවේදී, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිටියේ ෆ්ලොරීඩාවේය. සිදුවුණේ කුමක්දැයි සම්පූර්ණ වාර්තාවක් තමන්ට ලැබෙන්න සළස්වන්නැයි ජනපති ට්‍රම්ප්, හවායි ආණ්ඩුකාරවරයාට දැනුම් දී තිබේ.

(ඒ.එෆ්.පී./රොයිටර්)


RECOMMEND POSTS