බ්‍රිතාන්‍ය අගමැතිනිය යුරෝපා සංගමයට ලියයි



මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සනිටුහන් කරමින්, බ්‍රිතාන්‍ය  අගමැති තෙරේසා යුරෝපා සංගමය වෙත ලිපියක් යැවුවාය. අගමැතිනී තෙරේසා මේ, එම ලිපියට අත්සන් තැබීම ඓතිහාසික අවස්ථාවක් බව බ්‍රිතාන්‍ය  පුවත් සේවා වාර්තා කර තිබුණි. 

මහා බ්‍රිතාන්‍යය හෙවත් එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හැඳින්වෙන්නේ ‘බ්‍රික්සිට්’ යනුවෙනි. ඒ අනුව, එහි මූලික පියවර ලෙස මෙම ලිපිය එංගලන්තයේ ලන්ඩන් නුවර ඩවුනින් වීදියේ අංක 10 ස්ථානයේ පිහිටි අගමැති නිල නිවසේ සිට බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර බලා යැවෙනු ඇත. යුරෝපා සංගම් මූලස්ථානය ඇත්තේ බ්‍රසල්ස් නුවරය.

ලිපිය බ්‍රසල්ස් නුවර යුරෝපා සංගම් මූලස්ථානය වෙත රැගෙන යෑම සිදු කරන්නේ ‘බ්‍රික්සිට්’ වෙනුවෙන් පෙනී සිටින, බ්‍රිතාන්‍ය විශේෂ නියෝජිත ටිම් බරෝ ය. ටිම් බරෝ එම ඓතිහාසික ලිපිය යුරෝපා සංගමයේ ප්‍රධානී ඩොනල්ඞ් ටස්ක්ට බාර දීමට නියමිතව ඇත.

ඒ අනුව, නිල වශයෙන් තමන් සාමාජිකත්වයෙන් ඉවත් වෙන බව මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයට දැනුම් දෙයි. ඒ, යුරෝපා සංගමයේ ලිස්බන් ගිවිසුමට අදාලවය. එවිට වසර 44 ක් පුරා යුරෝපා සංගමයේ සාමාජිකයකු වී සිටි මහා බ්‍රිතාන්‍යයේ සාමාජිකත්වය අහෝසි වෙයි. ඉන්පසු මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට වසර දෙකක කාලයක් ගත වනු ඇත.

ලිපිය යැවීමට පෙර, බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, යුරෝපා සංගමයේ ප්‍රධානී ඩොනල්ඞ් ටස්ක්, යුරෝපා කොමිසමේ ප්‍රධානී ජෝන් ක්ලෝඞ් ජන්කර් සහ යුරෝපා සංගමයේ ප්‍රබල සාමාජිකයකු වන ජර්මනියේ චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල්ට දුරකතන ඇමැතුම් දුන්නාය.

යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත් වුවත්, දිගටම යුරෝපා සංගමයට අයත් සාමාජික රටවල් සමඟ මිත්‍රත්වයෙන් සිටින බවට මහා බ්‍රිතාන්‍යය වෙනුවෙන් අගමැතිනී තෙරේසා මේ එම අවස්ථාවේදී සහතික වී ඇතැයි බ්‍රිතාන්‍ය පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර තිබේ. 

යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත්වීම ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති. ඊට වසර දෙකක් ගත වන්නේ ද එහෙයිනි. සාමාජිකත්වයෙන් ඉවත්වීමත් සමඟ බ්‍රිතාන්‍යයට දඬ මුදලක් ගෙවීමට ද සිදුවනු ඇතැයි පැවැසෙයි.

(මේල් ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS