බ්‍රසීල වැසියන්ට කොරෝනා එන්නත් දෙකක්



බ්‍රසීල ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය පරිදි, බ්‍රසීල වැසියන්ට ‘කොවිඞ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

එන්නත් පළමුවෙන් ලබා දෙන්නේ, බ්‍රසීල වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයන්ටය. බ්‍රසීල ඖෂධ නියාමන අධිකාරි එන්නත් සඳහා අනුමැතිය ලබා දී ඇත්තේ, වයිරස වසංගතය හේතුවෙන් හදිසි තත්ත්වයක් සේ සලකමිණි.

ඇමෙරිකාවට පසු ලොව දෙවැනියට වැඩිම මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. බ්‍රසීලය ලතින් ඇමෙරිකා කලාපයට අයත් රාජ්‍යයකි. ඊයේ (18) වනවිට බ්‍රසීලයෙන් වාර්තා වූ ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 8,488,099 ක් වන අතර මරණ වාර්තා වන්නේ 209,863 කි.

බ්‍රසීල සෞඛ්‍ය අමත්‍යාංශය මැදිහත් වී මිලදී ගෙන බ්‍රසීල වැසියන්ට ලබා දෙන්නේ චීනයේ ‘සිනොවැක් බයෝටෙක්’ ප්‍රතිශක්තිකරණ එන්නත සහ බි්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් ‘ඇස්ට්‍රාසෙනකා’ ඖෂධ සමාගම සමඟ එක් වී නිපදවූ එන්නතය. ඇමෙරිකාවේ ‘ෆයිසර්’ එන්නත මෙන් නොව, මෙම එන්නත් ගබඩා කිරීම පහසුවෙයි. බ්‍රසීලය වැනි නිවර්තන කලාපීය රටවලට යෝග්‍ය වන්නේ ‘සිනොවැක් බයෝටෙක්’ සහ ‘ඇස්ට්‍රාසෙනකා’ එන්නත් දෙකය.

ඊයේ (18) එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ අවස්ථාවේ, පළමුවෙන් එන්නත් ලබා දීම සිදුවූයේ බ්‍රසීලයේ හෙද හෙදියන්, වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය අංශ සාමාජික සාමාජිකාවන්ටය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අඩිපාරේ යන චරිතයක් හෙයින්, බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ, ‘කොවිඞ් 19’ එන්නත් කෙරෙහි වැඩි පැහැදීමක් දක්වන්නේ නැත.

ට්‍රම්ප් සේම, ‘කොවිඞ් 19’ වයිරසය හෑල්ලුවට ලක් කළ ජනාධිපතිවරයකු ලෙස බොල්සරානෝ සැලකෙයි. ඒ අනුව, ට්‍රම්ප් සේම, බොල්සරානෝ ද ‘කොවිඞ් 19’ ආසාදිතයකු විය. කෙසේ නමුත් සති දෙකකට වැඩි කාලයක් වෛද්‍ය අධීක්ෂණයේ හුදෙකලා වී සිටි බොල්සරානෝ ට වයිරසය පරජය කිරීමට හැකියාව ලැබුණි.

බ්‍රසීල වැසියන්ට එන්නත් ලබා දීම සම්බන්ධයෙන් වරක් අදහස් දක්වමින් ජනාධිපති බොල්සරානෝ කියා සිටියේ, එන්නත් ලබා දීමට රජය පියවර ගන්නා නමුත්, එන්නත් සම්බන්ධයෙන් රජය වගකීමක් නොගන්නා බවය. එන්නත් විෂවීමක් හෝ අසාත්මිකතාවක් ඇති වුවහොත් ඒ සම්බන්ධයෙන් තමන්ට හෝ තම රජයට හෝ කිසිවක් කළ නොහැකි බව ද ජනාධිපතිවරයා පැවැසීය. මෙය බොහෝ දෙනාගේ අප්‍රසාදයට හේතුවක් වී ඇතැයි ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS