බ්‍රසීල බසයක් ප්‍රාණ ඇපයට අරන්



බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවර මගී බස් රියකට කඩා වැදී, එම බස් රියේ මගීන් ප්‍රාණ ඇපයේ රඳවා ගනිමින් කලහ කළ තුවක්කුකරුවකු වෙඩි තබා මරා දමා, මගීන් බේරා ගැනීමට බ්‍රසීල පොලිසිය සමත් වූ බව පැවැසෙයි.

තුවක්කුකරු බස් රිය ප්‍රාණ ඇපයේ රඳවා ගත්තේ නිටේරියෝ සහ රියෝ නගර අතර පාලම මතදීය. සිද්ධිය සැලවුණු සැණින් බ්‍රසීල පොලිස් නිලධාරීහු එය වට කළහ. එම අවස්ථාවේ තුවක්කුකරු බස් රියෙන් පිටතට පැමිණ පැට්‍රල් බෝම්බයකින් ද පොලිසියට දමා ගැසූ නමුත් එයින් කාටවත් අනතුරක් සිදු නොවිණි.

පොලිසිය උත්සාහ කර ඇත්තේ, තුවක්කුකරු සමඟ කතා කිරීමටය. තුවක්කුකරු ඉල්ලීම් කීපයක් ඉදිරිපත් කළේ යැයි ද පැවැසෙයි.

මේ අතර, පොලිසියේ ස්නයිපර් තුවක්කුකරුවකු බස් රියේ සිටි තුවක්කුකරු ඉලක්ක කරගනිමින් සීරුවෙන් සිට ඇත. ඒ, අසල ගිනි නිවන ට්‍රක් රියක වහලය මත සිටය. සුදුසු වේලාව බලා තුවක්කුකරුට වෙඩි තැබීමට ස්නයිපර් තුවක්කුකරු සමත් විය. ඒ අනුව,  බස් රියේ සිටි මගීන් 37 දෙනා සහ රියදුරා නිරුපද්‍රිතව බේරා ගැනීමට පොලිසියට හැකියාව ලැබුණි.

බ්‍රසීල පුවත් සේවා පසුව වාර්තා කළේ තුවක්කුකරු ළඟ තිබී ඇත්තේ සෙල්ලම් තුවක්කුවක් බවය. තුවක්කුකරු විලියම් ඔගලස්ටෝ සිල්වා නමැති තරුණයා බවත්, ඔහු ආරක්ෂක නිලධාරියකු ලෙස රැකියාව කළ අයකු බවත් පොලිසිය පසුව පැවැසීය. සිද්ධිය ගැන පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙයි.

රියෝ දි ජිනැයිරෝහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS