පෙන්ස්ගේ කාර්යමණ්ඩල ප්‍රධානියාට කොරෝනා



ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති මයික් පෙන්ස්ගේ කාර්යමණ්ඩල ප්‍රධානියාට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ට්‍රම්ප් පරිපාලනයට සම්බන්ධ බොහෝදෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වූ අතර එම ලැයිස්තුවේ නවතම පුද්ගලයා වන්නේ උප ජනාධිපති මයික් පෙන්ස්ගේ කාර්යමණ්ඩල ප්‍රධානියා ය.

මාර්ක් ෂෝට් මේ වනවිට නිරෝධායන ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවත් ඔහුගේ ආශ්‍රිතයන් හඳුනාගැනීමේ ක්‍රියාවලිය ද මේ වනවිට ආරම්භ කර ඇති බවත් මයික් පෙන්ස්ගේ ප්‍රකාශක ඩේවින් ඕ’මැලි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

‘‘උප ජනාධිපති මයික් පෙන්ස් සහ පෙන්ස් මහත්මිය අද ‘කොවිඩ්-19’ පරීක්ෂණවලට යොමු කළා. ඔවුන්ට වයිරසය ආසාදනය වී නැති බව තහවුරු වුණා. ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙනවා’’ යැයි ද ඩේවින් ඕ’මැලි කීවේය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත ය. මයික් පෙන්ස් රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් උප ජනාධිපති ධුරය සඳහා තරග කරයි. කෙසේ නමුත් ධවල මන්දිර වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත දැනට තිබෙන වැඩසටහන ක්‍රියාත්මක කරන කරන බව ද ප්‍රකාශකයා කීය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ දෛනික ආසාදිතයන් වාර්තා වීම නැවත වරක් වේගයෙන් ඉහළ යමින් තිබේ. සෙනසුරාදා දිනයේදී පමණක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 89,000 ඉක්මවයි.

මේ වනවිට ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් සහ වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මේ වනවිට වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 224,000 ඉක්මවයි.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS