පුල්වාමා ත්‍රස්ත ප්‍රහාරයට ජාත්‍යන්තරයෙන් විරෝධයක්



ජම්මු කාශ්මීරයේ පුල්වාමා දිස්ත්‍රික්කයේ ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ජාත්‍යන්තරයෙන් ද විරෝධයක් එල්ල වී ඇත.

ඉකුත් 14 වැනිදා එල්ල වුණු එම බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් ගණන 46 කි. ප්‍රහාරය එල්ල කළේ තමන් යැයි ‘ජායිෂ් ඊ මොහොම්මද්‘ ත්‍රස්ත කල්ලිය ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇත. ‘ජායිෂ් ඊ මොහොම්මද්‘ ත්‍රස්ත කල්ලියට පාකිස්තාන රජයේ අනුග්‍රහය හිමිවන බවට චෝදනා එල්ල වී ඇත.

පුල්වාමා ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව, ඕස්ටේලියාව, ජපානය, සිංගප්පූරුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ප්‍රංශය, ජර්මනිය, කොරියාව පමණක් නොව බහරේනය දැඩි ලෙස විරෝධය පළ කර ඇත. ඉන්දීය සොල්දාදුවන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ල කළ, ‘ජායිෂ් ඊ මොහොමද්’ සටන්කාමීන්, ත්‍රස්වාදීන් ලෙස පිළිගැනීම කළ රටක් වන්නේ ඇමෙරිකාවය. ඊට අමතරව, එක්සත් රාජධානිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ‘ජායිෂ් ඊ මොහොමද්’ කල්ලිය, ත්‍රස්ත කල්ලියක් ලෙස නම් කර ඇත.

ප්‍රහාරය සැලවීමත් සමඟ, ඇමෙරිකාව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කළේය. ඒ, පාකිස්තාන රජය සහ එරට බුද්ධි අංශය ‘ජායිෂ් ඊ මොහොමද්’ ඇතුළු මුස්ලිම් අන්තවාදී කල්ලිවලට අනුග්‍රහය සහ සහාය ලබාදීම වහා නවත්වන ලෙසය.

මේ වනවිටත්, ත්‍රස්තවාදයට එරෙහි සටනේදී පාකිස්තාන රජය උදාසීන අයුරින් ක්‍රියාකරනවා යැයි චෝදනා නගමින්, වාර්ෂිකව පාකිස්තානයට ලබා දෙන ආධාර නැවැත්වීමට පවා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.

පසුගිය 14 වැනිදා පුල්වාමා ප්‍රහාරයෙන් පසු, ඇමෙරිකා ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් ඉන්දීය ආරක්ෂක අමාත්‍ය අජිත් ඩොවාල් අමතමින් කියා සිටියේ, ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලදී ඇමෙරිකාවේ සහාය නොඅඩුව ලැබෙන බවය. ඉන්දු පාකිස්තාන දේශසීමාවේ දී, ඉන්දීය පාලනය යටතේ පවතින ප්‍රදේශයේ, ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් සහ ඉන්දීය වැසියන් වෙනුවෙන් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම පියවරක් ගැනීමට ඉන්දීය රජයට අයිතිය ඇතැයි ද ඇමෙරිකා ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් පවසා ඇත.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, පුල්වාමා ප්‍රහාරය තරයේ හෙලා දකිමින් කියා සිටියේ ප්‍රහාරය සිදු කළ සහ ප්‍රහාරයට සම්බන්ධ සියලුම දෙනාට දැඩි දඬුවම් ලබා දිය යුතු බවය. ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී, නිරන්තරයෙන් රුසියාවේ සහාය ඉන්දියාවට හිමිවන බව ද ජනාධිපති පුටින් පෙන්වා දුන්නේය.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, පාකිස්තාන අගමැති ස්කොට් මොරිසන් පවසා ඇත්තේ පුල්වාමා ප්‍රහාරය තරයේ හෙලා දකින බවය. එය බියගුලු ප්‍රහාරයක් යැයි ද ඕස්ටේ්‍රලියා අගමැතිවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වෙයි. ජපන් රජය සහ ජපාන වැසියන් වෙනුවෙන් ජම්මු කාශ්මීරයේ පුල්වාමා දිස්ත්‍රික්කයේ සිදුවුණු ප්‍රහාරය තමන් තරයේ හෙලා දකින බව ජපාන අගමැති ෂෙන්සෝ අබේ පැවැසීය. ප්‍රහාරයෙන් මියගිය ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ පවුල්වල අයට සොව පළ කරන බව ද ජපාන අගමැති ෂෙන්සෝ අබේ වැඩිදුරටත් කියා සිටියේය. මෙවැනි ත්‍රස්ත ක්‍රියා කිසිම අයුරකින් සාධාරණීය කළ නොහැකි බව ද ජපාන අගමැතිවරයා පෙන්වා දුන්නේය.

සිංගප්පූරුව වෙනුවෙන් එරට විදේශ කටයුතු පිළිබඳ ඇමැති ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් කියා සිටියේ පුල්වාමා ප්‍රහාරය තරයේ හෙලා දකින බවත් එවැනි කුරිරු ත්‍රස්ත ක්‍රියා කිසිසේත් අනුමත කළ නොහැකි බවය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙනුවෙන් එරට විදේශ අමත්‍යාංශයත්, බහරේන් රාජ්‍යය වෙනුවෙන් එරට විදේශ ඇමැතිවරයාත් ඉන්දීය ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් එල්ලවුණු කුරිරු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හෙලා දැක ඇත.

ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ඉන්දියාවට සහාය පළ කරමින්, ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ප්‍රහාරය හෙලා දැක ඇති අතර, මෙවැනි ත්‍රස්ත කල්ලි මුලිනුපුටා දැමීමට මුළු ලොවට එක් විය යුතු බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වී ‘ජායිෂ් ඊ මොහොමද්’ ත්‍රස්ත කල්ලියට එරෙහිව දැඩි පියවරක් ගැනීමට පියවර ගන්නා බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසා ඇති බව ප්‍රංශ පුවත් සේවා පෙන්වා දෙයි.

ජර්මනිය සැමවිටම ඉන්දියාවේ මිතුරකු බව පෙන්වා දෙමින්, ඕනෑම අවස්ථානක ඉන්දියාවට ජර්මනියේ සහාය ලැබෙන බව ද පවසා ඇත. පසුගිය 14 වැනිදා පුල්වාමා දිස්ත්‍රික්කයේ ඉන්දීය ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් එල්ල වුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය තරයේ හෙලා දකින බව කොරියා ජනරජය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

නිව්යෝක්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS