පුටින් මගී යානයකට පහර දෙන්න හදලා



රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින්, 2014 වසරේ දී, මගී ගුවන් යානයකට පහර දී විනාශ කරන්නැයි උපදෙස් ලබා දුන් බවට තොරතුරු අනාවරණය වී ඇත.

‘පුටින්’ යන නමින්, රුසියන් ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සකස් කළ පැය 2 ක් දිග වාර්තා වැඩසටහනක් රුසියානු සමාජ ජාල ඔස්සේ විකාශය වෙමින් පවතී. මගී ගුවන් යානය සහ ජනාධිපති පුටින් ඊට පහර දීමට අණ කිරීමේ සිද්ධිය ඊට ඇතුළත් වෙයි.

ලබන මාර්තු 18 වැනිදා රුසියානු ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අතර පුටින් ද ඊට ඉදිරිපත් වෙයි. වාර්තා වැඩසටහන නිර්මාණය කර ඇත්තේත්, එය ප්‍රසිද්ධියට පත් කරනු ලැබ ඇත්තේත් පුටින්ගේ ජනප්‍රියත්වය වර්ධනය කිරීමටය.

2014 වසරේ සීත ඔලිම්පික් උළෙල පැවැත්වූයේ රුසියාවේ සෝචී නුවරය. 2014 පෙබරවාරි 7 වැනිදා, උළෙල සමාරම්භක අවස්ථාවට ඔන්න මෙන්න තිබියදී, රුසියානු ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ ජනපති පුටින්ට දන්වා ඇත්තේ, තුර්කියේ පෙගසස් නමැති ගුවන් සේවයට අයත් මගී යානයක් සෝචී නුවර ඔලිම්පික් ක්‍රීඩාගනය වෙත මඟ වෙනස් කරමින් පැමිණෙමින් තිබෙන බවය.

බෝයිං 737-800 වර්ගයේ එම මගී යානයේ මගීන් 10 දෙනකු සිට ඇති අතර එක් මගියෙක් බෝම්බකාරයෙක් යැයි ආරක්ෂක අංශ පුටින් ද දැන්වීය. යානයේ සාමාන්‍ය ගමන් මඟ වී තිබුණේ රුසියාවේ කර්කිව් නුවර සිට තුර්කියේ ඉස්තාන්බුල් දක්වාය.

බෝම්බකරු යානය පැහැරගෙන එය සෝචි නුවර ඔලිම්පික් ක්‍රීඩාංගනයට කඩා වැටීමටත්, ක්‍රීඩංගනයට රැස්ව සිටි ලක්ෂ හතරකට වැඩි පිරිස මරා දැමීමටත් සැලැසුම් කර ඇතැයි ද ආරක්ෂක අංශ පුටින්ට දැනුම් දී ඇත.

එහිදී ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු, යානය සෝචි බලා පැමිණීමට පෙර එය පහර දී විනාශ කිරීමට රුසියානු ජනපති පුටින් ආරක්ෂක අංශ වෙත දැනුම් දී තිබේ. වාර්තා වැඩසටහනේ මේ බව සඳහන් වෙයි.

එම අණ නිකුත් කිරීමෙන් පසු පුටින් කඩිනමින් සෝචි නුවර ඔලිම්පික් ක්‍රීඩාගනයට ගිය අතර එහිදී ඔලිම්පික් කමිටු බලධාරීන් හමුවී අනතුරුදායක තත්ත්වය ගැන ඔවුන්ට දැනුම් දී දුන් බව ද පැවැසෙයි.

එසේ දැනුම්දීමෙන් විනාඩි කිහිපයක් යද්දී, ආරක්ෂක අංශ ජනපති පුටින්ට යළිත් ඇමතුමක් දෙමින් පවසා ඇත්තේ, යානයේ බෝම්බකරුවකු නැති බවත් බීමත් මගියකු යානයේ කලහ කර ඇති බවත්, යානය නියමිත පරිදි කර්කිව් නුවර සිට ඉස්තාන්බුල් දක්වා පියාසර කරන බවත්ය.
වාර්තා වැඩසටහනට ඇතුළත් වන මෙම සිද්ධිය සැබෑවක් බවත්, ලක්ෂ හතරකගේ ජීවිත බේරා ගැනීමට තුර්කි යානය පුපුරා හැරීමට සූදානම් වුණු බවත් පුටින් වෙනුවෙන් ඔහුගේ ප්‍රකාශකයකු තහවුරු කර ඇතැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

 (රොයිටර්)


RECOMMEND POSTS