පාර්ලිමේන්තුවට කඩාවදින්න හදලා



පදිකයන් යට කරමින් අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් ඊයේ (14) ලන්ඩන් නුවර වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදීමට උත්සාහ කිරීමත් සමඟ ත්‍රස්ත බියක් හටගත්තේය.

මෝටර් රථයේ සිට ඇත්තේ තරුණයන් දෙදෙනෙකි. බ්‍රිතාන්‍ය වේලාවෙන් උදෑසන 7.30 ට පමණ, මොවුන් හිතාමතා පදිකයන් සහ පාපැදිකරුවන් යට කරමින්, වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල දෙසට පැමිණ ඇත්තේ ඇබින්ටන් වීදිය දෙසිනි.

කෙසේ නමුත් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදීමට මෝටර් රථයට හැකියාව නොලැබුණු බවත්, එය ආරක්ෂාවට යොදා ඇති කොන්ක්‍රීට් බාධකයක ගැටීමෙන් නතර වුණු බවත් වාර්තා වේ.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් වහා ක්‍රියාත්මක වී, රියැදුරාත් අනෙක් තරුණයාත් අත්අඩංගුවට ගත්තේය. මේ වනවිටත් ඔවුන්ගෙන් ප්‍රශ්න කරන බව පැවැසෙයි.

මෝටර් රථයේ ගැටීමෙන් තුවාල ලැබූ පදිකයන් සිවු දෙනකු සහ පාපැදිකරුවන් දෙදෙනකු රෝහල්ගත කෙරුණි. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව ද වාර්තා වේ.

එය ත්‍රස්ත ප්‍රහාරයක් විය හැකි යැයි පොලිසිය සැක පළ කරන බව බ්‍රිතාන්‍ය පුවත් සේවා වාර්තා කරයි. සිද්ධියෙන් පසු ලන්ඩන් අගනුවරට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට පොලිසිය කටයුතු කළේය.

2017 වසරේ මාර්තුවේ මේ අයුරින්, මෝටර් රථයක් පැදවූ කලීඞ් මසූඞ් නමැති මුස්ලිම් සම්භවයක් ඇති බි්‍රතාන්‍ය තරුණයා ද පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදීමට තැත් කළේය. ඒ, පස් දෙනකු මෝටර් රථයෙන් යට කර මරා දමා 50 දෙනකුට තුවාල කරමිණි. කලීඞ් මසූඞ් අයි.එස්. හිතවාදියෙකි.

එම සිදුවීමෙන් පසු වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා තිබේ. ඉදිරිපස මාර්ගයට කෝන්ක්‍රීට් බාධක ද යොදා ඇත. ඊයේ (14) මෝටර් රථය පැදැවූ තරුණයාට එය පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළට රැගෙන යෑමට නොහැකි වූයේ එම බාධක නිසා යැයි බ්‍රිතාන්‍ය පුවත් සේවා පෙන්වා දෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS