ප්‍රහාරවලින් දරුවෝ 30 ක් මැරිලා



පසුගිය මාසයේ ඇෆ්ගන් හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් දරුවන් තිස් දෙනෙකු මියගොස් තවත් 51 දෙනෙකු තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිල වාර්තා තහවුරු කරයි.

තාලිබාන් කැරලිකරුවන් ප්‍රහාර එල්ල වූ ස්ථාන වල සිටියා ද යන්න තහවුරු කර ගැනීමට අපහසු නමුත්, ඇෆ්ගනිස්තාන රජයේ ක්‍රියා කලාපය ප්‍රශ්න සහගත බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි.

ආගමික පාසලක් ආසන්නයේ එල්ල වූ එම ප්‍රහාරයෙන් ආගමික උත්සවයකට සහභාගි වෙමින් සිටි වැඩිහිටියන් හය දෙනෙකු ද මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සිදුකළ නිරීක්ෂණවලින් හෙළි වී ඇති බව සඳහන් ය. මෙහිදී මිය ගිය සංඛ්‍යාව තව දුරටත් වැඩි විය හැකි බව එම වාර්තා පෙන්නුම් කරයි.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ඇෆ්ගනිස්තානය පවසන්නේ තලේබාන් සංවිධානයේ ජ්‍යෙෂඨ සාමාජිකයින් පිරිසක් ඉලක්ක කරමින් මෙම ප්‍රහාර එල්ල කළ බවයි . එහෙත් එක්සත් ජාතීන් ගේ සංවිධානය පවසන්නේ සිය ගණනක් පුරුෂයින් සහ පිරිමි ළමයින් සහභාගී වූ උත්සවයකට මෙලෙස රොකට් ප්‍රහාර සහ හෙලිකොප්ටරයක සිට වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවට සාක්ෂි තිබෙන බවයි.

එම ස්ථානයේ කිසිදු කැරලිකරුවෙකු නොසිටි බව පවසන තාලිබාන් සංවිධානය, ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් දෙසිය දෙනෙකු මිය ගොස් හෝ තුවාල ලබා ඇති බව ද සඳහන් කර සිටී.

( තිළිණි ද සිල්වා )

අල් ජසීරා ඇසුරෙනි.


RECOMMEND POSTS