ප්‍රහාරයේ වගකීම අයි.එස්. ත්‍රස්තයෝ බාර ගනිති



ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර මංගල උත්සව ශාලාවකට මරාගෙන මැරෙන බෝම්බකරුවකු එව්වේ තමන් යැයි ප්‍රහාරයේ වගකීම බාර ගනිමින් ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසා ඇත.

අයි.එස්. ත්‍රස්තයන් පවසා ඇති ආකාරයට උත්සව ශාලාවට බෝම්බකරුවන් කණ්ඩායමක් පැමිණ ඇත. ඒ, පුපුරන ද්‍රව්‍ය ඇටවූ මෝටර් රථයකිනි. එක් බෝම්බකරුවකු උත්සව ශාලාව තුළට කඩා වැදී බෝම්බය පුපුරුවා ගෙන ඇත. මිනිත්තු කිහිපයක් තුළ ආරක්ෂක අංශ එහි පැමිණෙද්දී මෝටර් රථයේ සිටි බෝම්බකරු මෝටර් රථය පුපුරුවාගෙන ඇත.

මංගල උත්සවයට එල්ල වුණු එම ප්‍රහාරයෙන් මියගිය ගණන 63 කි. මනාලිය ද ඒ අතර සිටින බව බරපතල තුවාල ලබා රෝහල් ගත කළ මනාලයා හැඬූ කඳුළින් පවසා තිබේ. මියගිය සහ තුවාල ලැබූවන් අතර කාන්තාවන් සහ කුඩා දරුවන් බොහෝ දෙනකි. තුවාල ලැබූ ගණන 182 ක් යැයි ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එය ෂියා මුස්ලිම් වැසියන්ගේ මංගල උත්සවයකි. ප්‍රහාරය එල්ල වුණු අවස්ථාවේ ඇෆ්ගන් රජය කියා සිටියේ එය සුන්නි සහ ෂියා ආගමික ගැටුමක් විය හැකි බවය. තලේබාන් මෙන්ම අයි.එස්. ත්‍රස්තවාදීන් ද සුන්නි මුස්ලිම්ය.

ඉරාකයේ සහ සිරියාවේ තම බලය ගිලිහී යද්දී, අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් මේ වනවිට ඇෆ්ගනිස්තානය, ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලට ව්‍යාප්ත වී ඇතැයි ඉන්දීය බුද්ධි අංශ අනතුරු ඇඟවීම් කර තිබේ. ඇෆ්ගනිස්තානයේ අයි.එස්. ත්‍රස්තවාදීන් ක්‍රියාත්මක වන්නේ ඇතැම් තලේබාන් ත්‍රස්ත කණ්ඩායම් සමඟ එක් වෙමිනි.

කාබුල්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS