ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වෙලා



ඇමෙරිකා එක්සත් ජනපදය සහ තලේබාන් සංවිධානය අතර සාකච්ඡා බිඳ වැටීමෙන් පසුව පසුගිය දින කිහිපයේදී ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වී තිබේ.

තලේබාන් සංවිධානය එල්ල කරන ලද ප්‍රහාරවලින් සහ ඇමෙරිකාවේ සහාය ලබන රජයේ හමුදා වැරැදීමකින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් සිවිල් වැසියන් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.

නන්ගර්හාර් පළාතේ ගොවිපොළකට ඇෆ්ගන් ආරක්ෂක අංශ වැරැදීමකින් එලෙස ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙන අතර එම ප්‍රහාරයෙන් සිවිල් වැසියෝ 30කට ආසන්න පිරිසක් මරුමුවට පත්වූහ. ප්‍රහාරයෙන් තවත් 40කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.

ඇෆ්ගනිස්තානයේ සාබුල් පළාතේ සිදු වූ මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාරයකින් 20කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. කාර් බෝම්බ ප්‍රහාරයක් වූ එම මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාරයේ වගකීම තලේබාන් සංවිධානය බාරගෙන තිබිණි.

ඉස්ලාමික් ස්ටේට් සංවිධානයේ සාමාජිකයන් සැඟවී සිටින ස්ථානයක් පිළිබඳ තොරතුරු ලැබුණු බවත් එම ස්ථානයට ප්‍රහාර එල්ල කිරීමට සැලැසුම් කළ බවත් ඇෆ්ගන් නිලධාරීහු කීහ. ඒ අනුව ඩ්‍රෝන යානා යොදා ගනිමින් ප්‍රහාරයක් එල්ල කළ බවත් එහි ඉලක්කය වැරැදී ගිය බවත් ඔවුහු පැවැසූහ. වැරැදීමෙන් ප්‍රහාරය එල්ල වී ඇත්තේ නන්ගර්හාර් පළාතේ කොග්යානි දිස්ත්‍රික්කයේ වසීර් තන්ගි ප්‍රදේශයේ ගොවිපොළකටය.

ඩ්‍රෝන ප්‍රහාරයෙන් ගොවිපොළේ සිටි සේවකයන් 30 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බවත් 40කට ආසන්න පිරිසක් තුවාල ලැබූ බවත් පළාත්සභා සාමාජික සොහ්රබ් කදේරී පැවැසීය.
ඇෆ්ගනිස්තාන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රහාරය සහ ඉලක්කය වැරැදී යෑම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ ද මියගිය සහ තුවාල පිරිස පිළිබඳ විස්තර අනාවරණය කිරීම ප්‍රතික්ෂේප කළේය.

හර්ෂණ තුෂාර සිල්වා
අල්ජසීරා ඇසුරිනි


RECOMMEND POSTS