පරාද වුණොත් රටින් යනවා - ට්‍රම්ප්



තමන් ජනාධිපතිවරණයේදී පරාජයට පත් වුවහොත් රටින් පිටව යන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය ලබන මාසයේදී පැවැත්වීමට නියමිතය. සිය දෙවැනි හා අවසන් ධුර කාලය වෙනුවෙන් ජනාධිපති රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. ඔහුගේ ප්‍රතිවාදියා වන්නේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩන් ය. හෙතෙම ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ සමයේ එරට උප ජනාධිපති ධුරය හෙබවීය.

“ඔබ දන්නවාද ? ඇමෙරිකානු දේශපාලන ඉතිහාසයේ නරකම අපේක්ෂකයා සමඟ ජනාධිපතිවරණයට තරග කිරීම මට ලොකු පීඩනයක්” යැයි ජෝර්ජියා ප්‍රාන්තයේ මැකෝන් හි පැවැති රැලියකදී ට්‍රම්ප් කීය.

“ඔබට හිතාගන්න පුළුවන් ද මම පැරැදුණොත් ? මගේ ජීවිතේට මොකද වෙන්නේ ? මම මොකද කරන්නේ ? දේශපාලන ඉතිහාසයේ නරකම අපේක්ෂකයාට පැරැදුණොත් මම මොනාද කියන්නේ! මට හිතාගන්න බැහැ. සමහර විට මට රටින් යන්න වෙයි. මං දන්නේ නෑ” යැයි ට්‍රම්ප් කීය.

ට්‍රම්ප් ජනාධිපතිවරණයෙන් පරාජයට වුවහොත් ඔහුට චෝදනා කිහිපයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි පැවසේ.

ජනාධිපති ධුරය හොබවන බැවින් ට්‍රම්ප් එම චෝදනාවලින් ආරක්ෂා වී සිටියි.

කෙසේ නමුත් මේ වනවිට ට්‍රම්ප්ට එරෙහිව පරීක්ෂණයක් ක්‍රියාත්මක වේ. බදු ආදායම් නොගෙවීම, පෞද්ගලික පුරවැසියකු ලෙසත් සිය පවුලේ ව්‍යාපාර වලිනුත් අයථා ලෙස මුදල් උපයා ඇතැයි ජනාධිපති ට්‍රම්ප්ට චෝදනා එල්ල වී තිබෙන අතර පරීක්ෂණ ක්‍රියාත්මක වන්නේ ඒ සම්බන්ධයෙනි.

ඊට අපහරණ, අල්ලස් ලබාගැනීම සහ මූල්‍ය චෝදනා කිහිපයක් ද ට්‍රම්ප්ට එල්ල වී තිබේ.

රොයිටර්


RECOMMEND POSTS