නොත්‍රදාම් දෙව්මැදුරේ විශේෂ දේව මෙහෙයක්



ප්‍රංශයේ පැරිස් අගනුවර ගින්නෙන් විනාශ වූ නොත්‍රදාම් දෙව් මැදුරේ විශේෂ දේව මෙහෙයක් ඊයේ (15) පැවැත්විණි. ඒ, දෙව්මැදුර ගින්නෙන් විනාශ වී මාස දෙකකට පසුවය.

දෙව් මැදුරේ ප්‍රතිසංස්කරණ කටයුතු ලහිලහියේ සිදුවෙමින් පවතින අතර එය අවසන් කිරීමට වසර කීපයක් ගත වනු ඇති බව ප්‍රංශ රජය නිවේදනය කර තිබේ.

දේව මෙහෙයට සහභාගී වූයේ කතෝලික පූජකවරුන් 30 දෙනකුගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පමණි. ඔවුන් පැමිණියේ ද ගොඩනැගිලි ඉදිකිරීම් සේවකයන් පළඳින ආරක්ෂිත හිස් වැසුම් ද පැළඳගෙනය. මහජනතාව වෙනුවෙන් දෙව් මැදුර විවෘත නොවුණු බව ද පැවැසෙයි. දේව මෙහෙය සවස 6 ට ආරම්භ විය.

දෙව් මැදුර යළි තිබුණු අයුරින් ඉදිකිරීමට මුදල් ආධාර දීමට ප්‍රංශයේ ප්‍රධාන පෙළේ  ව්‍යාපාරිකයෝ ඉදිරිපත් වී සිටිති. ඔවුන් ඇමෙරිකන් ඩොලර් මිලියන 960 ක මුදලක් ලබා දෙන බව පවසා ඇති නමුත් මේ වනවිට දෙව් මැදුරේ ඉදිකිරිම් සඳහා ලැබී ඇතැයි පැවැසෙන්නේ එයින් සියයට 10 ක ප්‍රමාණයක් පමණක් බව ද ප්‍රංශ පුවත් සේවා සඳහන් කරයි.

පැරිසියේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS