න්‍යෂ්ටික අවිහරණය කරනවා



කොරියා අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමට තමන් කැපවී සිටින බවත්, තම න්‍යෂ්ටික අවිහරණ කටයුතු පොරොන්දු වූ පරිදි සිදු කරන බවත් දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් හමුවෙමින්, උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහතික විය.

දකුණු කොරියා ජනාධිපති සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් මෙසේ එකිනෙකා හමුවූයේ උතුරු කොරියාවේ යොංග්යැංග් අගනුවර පැවැත්වෙන තෙවැනි ‘කොරියා සමුළුව’ අතරතුරේදීය.

තම න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන නවත්වන බවටත්, න්‍යෂ්ටික අවිහරණය සිදු කරන බවටත්, කොරියා අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමටත් උතුරු කොරියා නායක කිම් ජොන් උන්, දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්ට පොරොන්දුවක් දුන්නේ පසුගිය අපේ‍්‍රල් මාසයේදී දෙදෙනා එකිනෙකා හමුවුණු අවස්ථාවේදීය.

න්‍යෂ්ටික අවිහරණය සිදු කරනවා යැයි උතුරු කොරියා නායක කිම් ජොන් උන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට ද පොරොන්දුවක් දී ඇත. ඒ, පසුගිය ජූනි 12 වැනිදා සිංගප්පූරුවේදී හමුවෙමිනි. කෙසේ නමුත් ඇමෙරිකාව චෝදනා කර ඇත්තේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණ කටයුතු බොහොම මන්දගාමීව සිදුවන බවය. ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර හිතවත්කම් පැවැත්වීම සම්බන්ධයෙන් ‘මැදහත්කරු’ ලෙස කටයුතු කරන්නේ දකුණු කොරියාවය.

යොංග්යැංග් අගනුවරදී  දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් හමුවුණු අවස්ථාවේදී නව සහයෝගීතා ගිවිසුම් රැසකට ද අත්සන් කිරීමට උතුරු කොරියා නායකයා පියවර ගත්තේය. උතුරු කොරියාවේ ප‍්‍රධානතම න්‍යෂ්ටික බලාගාරය ‘ටොංග්චැංග් රී’ වසා දැමීමට ද මෙහිදී උතුරු කොරියා නායක කිම් ජොන් උන් එකඟ විය.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු බෙදී වෙන්වුණු කොරියාව, යළි එක් කිරීමට තමන් අදහස් කරන බව උතුරු කොරියා නායකයා පවසා ඇති අතර, එක් කොරියාවක් වෙනුවෙන් කැප වී නව යුගයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද නව ගිවිසුම් කිහිපයකට කිම් ජොන් උන් සහ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් අත්සන් තැබූහ. සෞඛ්‍ය ක්ෂේත‍්‍රය ඇතුළු ක්ෂේත‍්‍ර ගණනාවක් සම්බන්ධයෙන් ගිවිසුම්වලට අත්සන් තැබුණු බව පසුව වාර්තා විය.

එකමුතු වෙමින් 2032 වසරේ ගිම්හාන ඔලිම්පික් උලෙළ පැවැත්වීම කෙරෙහිද නායකයන් දෙදෙනාගේ අවදානය යොමු විය. ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.

දකුණු කොරියා ජනාධිපති සමඟ පැමිණි නියෝජිත පිරිස අතරේ, දකුණු කොරියා ආරක්ෂක ඇමැතිවරයා ද සිටියේය. ඔහු උතුරු කොරියා හමුදා ප‍්‍රධානීන් සමඟ සාකච්ඡුා පැවැත් වූයේය. අවසානයේදී දෙරටට තර්ජනයක් වන අයුරින් සිදුවන හමුදා කි‍්‍රයාකාරකම් නැවැත්වීමට පොදු එකඟත්වයක් ඇති කර ගැණින.

තෙදින නිල සංචාරයක් සඳහා උතුරු කොරියා නායකයා හමුවීමට දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් උතුරු කොරියාව බලා පැමිණියේ ඊයේ (18) ය. ඒ, බිරිඳ ඇතුළු 200 කට වැඩි දකුණු කොරියා නියෝජිත පිරිසක් ද සමඟය.

ජනාධිපති මූන් ජේ ඉන්ගේ තෙදින නිල සංචාරය සඳහා හෙට (20) අවසන් වෙයි.

කොරියා යුද්ධයෙන් පසු උතුරු සහ දකුණු ආදී වශයෙන් කොරියාව දෙකඩ වීමෙන් ද අනතුරුව, දකුණු කොරියා ජනාධිපතිවරයකු උතුරු කොරියාවට පැමිණි පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.

පැවැති සාකච්ඡා අතරතුරේදී දකුණු කොරියාවේ නිල සංචාරයකට පැමිණෙන්නැයි දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්, උතුරු කොරියා නායකයාට ඇරැයුම් කළේය. එම ඇරැයුම උතුරු කොරියා නායකයා ඉතා ගෞරවයෙන් පිළිගත්තේය.

 (රොයිටර්ස්)


RECOMMEND POSTS