ධුරයෙන් යන්න බෑ කියයි



තමන්ට එරෙහිව කොංග්‍රසයට ඉදිරිපත් කර ඇති දෝෂාභියෝගයට තමන් බියක් නොදක්වන බවත්, පසුගිය 6 වැනිදා වොෂින්ටන් අගනුවර සිදුවුණු කලහකාරී විරෝධතාවලට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් පවසන ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ධුරයෙන් ඉල්ලා අස්වීම ද ප්‍රතික්ෂේප කර තිබේ.

ට්‍රම්ප් ආධාරකරුවෝ පසුගිය 6 වැනිදා, වොෂින්ටන් අගනුවරට රැස්වී, කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදී එහි බලය අතට ගත්හ. ඒ, ජෝ බයිඩන්ගේ ජය තහවුරු කිරීමට ඇමෙරිකන් කොංග්‍රසය රැස්වුණු අවස්ථාවේදීය.

විරෝධතාකරුවන් ‘උසි ගැන්වූයේ’ ට්‍රම්ප් බව පැහැදිලි වන නමුත්, ට්‍රම්ප් පවසා ඇත්තේ, විරෝධතාකරුවන් කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදීමේ සිදුවීම සම්බන්ධයෙන් තමන්ට වගකීමක් ගත නොහැකි බවය.

තම ආධාරකරුවන් සමඟ සිටි ඇතැම් පිරිස්, කලහකාරීව හැසිරුණු බව තමන් පිළිගන්නා නමුත්, ඔවුන්ගේ ක්‍රියා කලාපය තමන් තරයේ හෙළා දකින බව ද ට්‍රම්ප් ප්‍රසිද්ධියේ පවසා ඇත.

ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන්, ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් කොංග්‍රසයට ඉදිරිපත් කර ඇත්තේ ද ට්‍රම්ප් විරෝධතාකරුවන් උසි ගැන්වමින් කොංග්‍රසයේ කටයුතු අඩපණ කිරීමත් කැරැලි ගැසීමට අනුබල දුන් බවටත් චෝදනා කරමිණි. දෝෂාභියෝග ක්‍රියාවලිය දින කීපයක් පුරා පැවැත්වෙයි.

ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඇත්තේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන් සතුවය. නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්ස පොලෝසි ඉදිරිපත් කළ එම දෝෂාභියෝගයට අදාල යෝජනාවලට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය කැමැත්ත පළ කළේය.

232 දෙනකු යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන් අතර විරෝධය දක්වමින් ට්‍රම්ප්ට සහාය පළ කළේ 197 ක් පමණි. දෝෂාභියෝගයට පක්ෂව ට්‍රම්ප්ට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ පිරිස අතරේ, ට්‍රම්ගේ හිතවත් රිපබ්ලිකන්වරුන් 10 දෙනකු ද සිටින බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දී සම්මත වුණු දෝෂාභියෝග යෝජනාවලිය සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයට යොමු කෙරුණි.  සෙනෙට් මණ්ඩලයේ බහුතරය ඇත්තේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන් සතුවය.

ට්‍රම්ප් විරෝධතාකරුවන් ‘උසි ගැන්වීම’ සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කළත්, රිපබ්ලිකන් සෙනෙට් මන්ත්‍රීවරුන් ට්‍රම්ප්ට එරෙහි ව ඡන්දය ප්‍රකාශ කරාවි ද යන්න අවිනිශ්චිත බව පැවැසෙයි.

දෝෂාභියෝගයට අදාලව ට්‍රම්ප් ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සෙනෙට් මණ්ඩලයේ දී නඩු විභාගයක් ද පැවැත්වීමට නියමිතය. අවසන් වශයෙන් ඡන්ද විමසුම සිදුවන්නේ ඉන්පසුවය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS