දේශපාලන අර්බුදයක්



ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ මහ ඇමැති ලෙස, එම ධුරයට අභිනවයෙන් පත්වුණු භාරතීය ජනතා පක්ෂ සාමාජික බී.එස්. යඩියුරුප්පා එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇත.

බී.එස්. යඩියුරුප්පා මෙසේ ඉල්ලා අස්වූයේ විශ්වාසය පළ කිරීමේ, යෝජනාවක් ප්‍රාන්ත සභාවට ගෙන ඒමට මිනිත්තු කිහිපයක් තිබියදීය.

බී.එස්. යඩියුරුප්පාගේ ඉල්ලා අස්වීම අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට එල්ල වුණු ලොකු පසුබෑමක් බව පැවැසිණි.

පසුගිය දා පැවති කර්ණාටක ප්‍රාන්ත මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගත්තේ ඉන්දීය අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂයයි. ඔවුන් හදිස්සියෙන් රජයක් පිහිටුවීමට කටයුතු කළ අතර මහ ඇමැතිවරයා ලෙස බී.එස්. යඩියුරුප්පා පත් කෙරුණි.

ඉන්දියාවේ දකුණු දිග ප්‍රාන්තයක් වන කර්ණාටක ප්‍රාන්තය ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැළකෙන කොංග්‍රස් පක්ෂයේ බළ කොටුවක් ලෙස වසර ගණනාවක් පැවැතිණි.

කෙසේ නමුත් මෙවර කොංග්‍රසයට දිනා ගැනීමට හැකි වූයේ ආසන 78 ක් පමණි. එය ඔවුන් ලැබූ ප්‍රබල පරාජයකි. තෙවැනි බලවේගය වන ජනතා දාල් පක්ෂයට ආසන 38 ක් හිමිවිය. කර්ණාටක ප්‍රාන්තයේ ආසන ගණන 222 කි.

ආසන 104 ක් දිනාගත් භාරතීය ජනතා පක්ෂය රජයක් පිහිටුවද්දී, කොංග්‍රස් පක්ෂය සහ ජනතා දාල් පක්ෂය එක් වී තමන් ද රජයක් පිහිටුවන බව පැවැසීය. අර්බුදය ඉන්දීය ශ්‍රෙෂ්ඨාධිකරණය තෙක් දුරදිග ගියේය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව, විශ්වාසය පළ කිරීම සම්බන්ධයෙන් ප්‍රාන්ත සභාවේ ඡන්ද විමසුමක් පැවැත්වීමට යෙදුණි. බී.එස්. යඩියුරුප්පා සිය ධුරයෙන් ඉවත් වූයේ එම අවස්ථාවේදීය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS