දිල්ලි මහ ඇමැතිගේ කාර් එක හොරු අරන්



ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති මෙන්ම ‘පොදු මිනිසා’ හෙවත් ආම් ආද්මී පක්ෂයේ නායකයා ද වන අරවින්ද්ගේ වැගන් ආර් වර්ගයේ නිල් පැහැති මෝටර් රථය මීට දින තුනකට පෙර සොරකම් කෙරුණු බවත්, ඊයේ (14) උදෑසන දිල්ලි පොලිසියට එය සොයා ගැනීමට හැකි වුණු බවත් ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

වැගන් ආර් මෝටර් රථය සොරකම් කෙරුණේ එය නවදිල්ලි අගනුවර දිල්ලි මහ ලේකම් කාර්යාලය ඉදිරිපිට තවතා තිබියදී යැයි පොලසිය කියයි.

මෝටර් රථය සොයා ගැනීමට පොලිසියට හැකිවී ඇත්තේ මෝහාන් නගර් පළාතේ ‘නරේන්ද්‍ර මොහාන්’ රෝහල අසල මාර්ගයක දමා ගොස් තිබියදී යැයි ද ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

අතහැර දමා ගොස් තිබියදී සොයා ගනු ලැබූ මෝටර් රථය ෂිබාබාද් පොලිස් ස්ථානයට රැගෙනු යනු ලැබූ අතර ෂිබාබාද් පොලිස්පති දිල්ලි පොලිස්පතිට ඒ බව දැනුම් දී තිබේ.

මෝටර් රථය සොරකම් කළේ කවුරුදැයි යන්න සී.සී.ටීවී. ආරක්ෂක කැමරා දසුන් අනුව සොයා බලන බව දිල්ලි පොලිස්පති පවසා ඇත. දිල්ලියේ ආරක්ෂාව ගැන තමන් කිසිසේත් සෑහීමකට පත් නොවන බව පවසමින් මහ ඇමැති කෙජ්රිවාල් පොලිස්පතිවරයාට දොස් නගා ඇතැයි ද වාර්තා වේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS