දහස් ගණනක් නිව්යෝක් නුවර වීදි බසිති



පොලිස් අත්අඩංගුවේ සිටියදී කළු ජාතික ජෝජ් ෆ්ලොයිඞ් මියයෑමේ සිදුවීම මුල්කොට ගනිමින්, ඔහුට සාධාරණයක් සහ කළු ජාතිකයන්ගේ අයිතීන් සුරැකින්නැයි ඉල්ලමින්, ඇඳිරි නීතිය නොතකා නිව්යෝක් නුවර විරෝධතා රැලි පැවැත්වෙයි. දහස් ගණනක් ඊට සහභාගී වන බව වාර්තා වේ.
 

ඇඳිරි නීතිය පනවා ඇත්තේ ‘කොවිඞ් 19’ වයිරස වසංගතය හේතුවෙනි. ඇමෙරිකාවේ වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ නිව්යෝක් නුවර කේන්ද්‍රකොට ගනිමිනි. ඇඳිරි නීතිය පැනැවීම සිදුවන්නේ සෑම දිනකම රාත්‍රී 8 ට ය.

ඇඳිරි නීතිය නොතකා විරෝධතා පැවැත්වෙද්දී, නිව්යෝක් නුවරට හමුදාව ගෙන්වා ගන්නැයි ඇමෙරිකන් ජනපති නිව්යෝක් ආණ්ඩුකාර ඇන්ඩෲ කුවෝමෝ ට පැවැසුවේය.

‘නිව්යෝක් ආණ්ඩුකාරවරයා හමුදාව (නැෂනල් ගාඞ්) ගෙන්වා ගන්න ඕනෑ. එසේ නොකළොත් කොවිඞ් 19 වසංගතයට වඩා දරුණු තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවේවි. ඉක්මනින් විරෝධතා පවත්වන කමකට නැති කාලකණ්ණි රැල මර්දනය කරන්න ඕනෑ’ යැයි ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් මගින් පවසා තිබුණි.

කෙසේ නමුත් නිව්යෝක් ආණ්ඩුකාරවරයා හෝ නිව්යෝක් නගරාධිපති බිල් දෙ බ්ලැසියා ද එසේ හමුදාව ගෙන්වා විරෝධතාකරුවන් මර්දනය කිරීමට අකමැති විය.

පොලිස් අත්අඩංගුවේ සිටිද්දී සිදුවුණු ජෝජ් ෆ්ලොයිඞ්ගේ මරණය මුල්කොට ගනිමින්, මේ අයුරින් විරෝධතා රැල්ලක් නිර්මාණය වූයේ ජනපති ට්‍රම්ප් සාධාරණය ඉල්ලන විරෝධතාකරුවන් කොල්ලකරුවන්, මැරයන්’, කමකට නැති කාලකණ්ණි ආදී නම්වලින් හඳුන්වන නිසාය. මෙය ගින්නට පිදුරු දැමීමක් වැනි යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

(රොයිටර්)


RECOMMEND POSTS