දකුණු කොරියා ජනාධිපති ප‍්‍රංශයට



යුරෝපා සංචාරයක් ආරම්භ කරමින්, ප‍්‍රංශයේ පැරිස් නුවරට පැමිණ සිටින දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් ප‍්‍රංශ ජනාධිපති මන්දිරයේදී ප‍්‍රංශ ජනපති ඉමැනුවෙල් මැක්‍රොන් හමුවෙමින්, උතුරු කොරියා නායක කිම් ජොන් උන් සාමයට කැපවී සිටින අයුරු පැහැදිලි කළේය.

උතුරු කොරියා නායකයා අවංක චේතනාවෙන්, න්‍යෂ්ටික අවිහරණය සිදුකරමින් සාමයට කැපවී කටයුතු කරන බවත්, එය ඇගැයීමට ලක් කරමින් උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක ලිහිල් කළ යුතු බවත් දකුණු කොරියා ජනාධිපතිවරයා, ප‍්‍රංශ ජනපතිට පැවැසීය.

ප‍්‍රංශ ජනාධිපති මන්දිරයට පැමිණි දකුණු කොරියා ජනාධිපතිට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. දකුණු කොරියා ජනාධිපති ලෙස මූන් ජේ ඉන් ප‍්‍රංශයට පැමිණි ප‍්‍රථම අවස්ථාව මෙන්ම, යුරෝපා රටවල සංචාරයක නියැලෙන ප‍්‍රථම අවස්ථාවද මෙයයි.
ප‍්‍රංශ ජනාධිපතිවරයා හමුවීමට පෙර, ඔහු ‘ලෙ ෆිගාරෝ’ පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡුාවකට එක් විය. එහිදී ද උතුරු කොරියා නායකයා වර්ණනා කිරීමට දකුණු කොරියානු ජනාධිපතිවරයා කටයුතු කළේය.

කිම් ජොන් උන් සැබැවින්ම කුමන ආකාරයේ තැනැත්තකුදැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී ජනාධිපති මූන් ජේ ඉන් කියා සිටියේ කිම් ජොන් උන් බොහොම තැන්පත්, අවංක කෙනකු කියාය.

මේ වනවිට ඇමෙරිකාව සමඟත් දකුණු කොරියාව සමඟත් උතුරු කොරියා නායක කිම් ජොන් උන් යහපත් සබඳතා පවත්වයි. ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර සබඳතා වර්ධනය කිරීමෙහිලා මැදහත්කරු ලෙස කටයුතු කරන්නේ දකුණු කොරියාවය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS