තලේබාන් සංවිධානය මුදල් දීම බොරු නොවෙයි



ඇෆ්ගනිස්තානයේ, ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ සොල්දාදුවන් මරා දැමීමට, රුසියානු බුද්ධි ඒකකයක්, තලේබාන් ත්‍රස්තවාදීන්ට මුදල් දුන්නැයි හෙළි කළ ඇමෙරිකන් බුද්ධි අංශ වාර්තා තමන්ට ද දකින්න ලැබුණු බවත්, එම බුද්ධි අංශ වාර්තාවල ඇති සියලු තොරතුරු සත්‍ය බවත් බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් බෙන් වොලන්ස් පවසයි.

බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් බෙන් වොලන්ස් මෙසේ කියා සිටියේ, මෙම ඇමෙරිකන් බුද්ධි අංශ වාර්තාව සම්බන්ධයෙන්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු උප කමිටුවක් හමුවේ කරුණු දක්වමිනි.

ඇමෙරිකාව, තලේබාන් පාලනය පෙරළා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ 2001 වසරේදීය. ඒ, 2001 සැප්තැම්බර් 11 වැනිදා අල් කයිඩාව ඇමෙරිකාවට පහර දීමත්, ඉන්පසු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඞ්න් ඇෆ්ගනිස්තානයට ගොස් සැඟවීමත් සමඟය.

ඇමෙරිකාව ද නේටෝ සාමාජික රටකි. ඇමෙරිකාවට සහාය දක්වමින් සෙසු නේටෝ හමුදා ද ඇෆ්ගන් යුද්ධයට මැදි විය. මහා බ්‍රිතාන්‍යය ද නේටෝ සාමාජික රටකි.

ප්‍රසිද්ධියට පත් වුණු ඇමෙරිකන් බුද්ධි වාර්තාවේ සඳහන් වන පරිදි, රුසියානු බුද්ධි අංශ ඒකකය, ඇමෙරිකන් ප්‍රමුඛ නේටෝ හමුදා සොල්දාදුවන් මරා දමන්නැයි, තලේබාන් ත්‍රස්තවාදීන්ට මුදල් දී ඇත්තේ, පසුගිය 2019 වසරේදීය.

ඒ වනවිට ඇමෙරිකාව තලේබාන් සංවිධානය සමඟ සාම කතා ආරම්භ කර තිබුණි. සාම කතා පැවැත්වෙද්දී පවා ඇමෙරිකන් සොල්දාදුවන් ඉලක්ක කර ගනිමින් දරුණු ප්‍රහාර එල්ල විය. ඒ අනුව, අවස්ථා ගණනාවකදී සාම සාකච්ඡා නවතා දැමීමට ද ඇමෙරිකන් සාම නියෝජිතයෝ පියවර ගත්හ.

මේ අතර, රුසියාව පවසා ඇත්තේ තමන් කිසිදු අවස්ථාවක ඇමෙරිකන් හෝ නේටෝ සොල්දුදාවන් හෝ මරා දැමීමට කිසිවකුටවත් මුදල් දී නැති බවය. තලේබාන් සංවිධානය ද ඩොනල්ඞ් ට්‍රම්ප් පරිපාලනයට දන්වා ඇත්තේ රුසියානු බුද්ධි අංශයකින් තමන්ට එවැනි මුදල් ගෙවීමක් සිදු නොවුණු බවය.

ලන්ඩනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS