ජෝර්ජියාවේ යළි ඡන්ද ගණන් කිරීම අවසන්



ජෝර්ජියා ජනපදයේ දෙවැනි වර ඡන්දය ගණන් කිරීම මේ වනවිට අවසන් වී ඇති අතර, එයින් ද රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අභිබවා යමින් ජයග්‍රහණය හිමිකරගෙන ඇත්තේ ඩිමොක්‍රටික් පාක්ෂික ජනාධිපති ධුර අපේක්ෂක ජෝ බයිඩන් ය.

ඒ අනුව, ඇමෙරිකන් මැතිවරණ කොමිසම, ජෝර්ජියා ජනපදයේ බයිඩන්ගේ ජය නිල වශයෙන් තහවුරු කළේය. ජෝර්ජියා ජනපදය රිපබ්ලිකන් පක්ෂ බළකොටුවක් ලෙස සැලෙකයි.

පසුගිය 3 වැනිදා පැවැත් වූ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙද්දී, ජෝර්ජියා ප්‍රාන්තයේ ජය බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂයට හිමිවෙද්දී, ඡන්ද වංචා සහ දූෂණ සිදුවුණැයි චෝදනා කරමින් ට්‍රම්ප්, මැතිවරණ ප්‍රතිඵලයට එරෙහි විය. ඒ අධිකරණ ක්‍රියා මාර්ගයක් ගනිමිනි.

ජෝර්ජියා ජනපදයේ ඡන්ද යළි අතින් ගණන් කිරීම ඒ අනුව සිදුවිය. එයින් ද තහවුරු වී ඇත්තේ 1992 වසරේ සිට රිපබ්ලිකන් බලකොටුවක් වූ ජෝර්ජියා ජනපදය රිපබ්ලිකන් පක්ෂයට අහිමි වුණු බවය. ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වන්නේ වැඩිම ඉලෙක්ට්‍රෝරල් ඡන්ද දිනා ගන්නා අපේක්ෂකයාය.

ජෝර්ජියා ජනපදයෙන් බයිඩන්ට හිමි ඡන්ද ගණන 16 කි. සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව, මේ වනවිට බයිඩන් ඡන්ද 306 ක් දිනා සිටී. ට්‍රම්ප්ට හිමිවී ඇත්තේ 232 කි.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS