ඝාතකයන්ට සමාව දුන්නා



තමා සහ තම නැගෙණිය පියාගේ ඝාතකයන්ට සම්පූර්ණයෙන්ම සමාව දී ඇතැයි ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධිගේ පුත් රාහුල් ගාන්ධි සිංගප්පූරුවේදී පවසා ඇත.

“මගේ නැගෙණිය ප්‍රියංකා ගාන්ධි තාත්තාගේ ඝාතකයන්ට සම්පූර්ණයෙන්ම සමාව දීලා ඉන්නේ. කාලයක් යනකන් අපිට ඒ දුක දරාගන්න බැරි වුණා. අපිට ලොකු හිත් වේදනාවක් තිබ්බා. එහෙත් අපි දැන් ඔවුන්ට සම්පූණයෙන්ම සමාව දීලා ඉන්නේ” යැයි අත්පොළොසන් නද මැද කඳුළු පිරි දෙනෙතින් රාහුල් ගාන්ධි සිංගප්පූරුවේ පැවැති වැඩසටහනකදී පැවැසීය. 

මෙහිදි රාහුල් ගාන්ධි ඔහුගේ මිත්තණියගේ ඝාතනය සම්බන්ධයෙන් ද අදහස් දක්වා තිබේ. පියාගේ සහ මිත්තණියගේ ඝාතන තම පවුලට ගෙවන්නට සිදු වූ වන්දියක් යැයි ද හෙතෙම එහිදි ප්‍රකාශ කර තිබේ. “දේශපාලනයේදී ඔබ වැරැදි පුද්ගලයන් වැරැදි බලවේග සමඟ පටලැවුණොත් ඒ වගේම ඔබ යමකට එරෙහිව නැගී සිටියොත් ඔබට සිදුවෙන්නේ මැරෙන්න” හෙතෙම කීය. 

“අපේ අත්තම්මා මැරෙන්න යන බව අපි දැනගෙන හිටියා. අපේ තාත්තා මැරෙන්න යන බව අපි දැනගෙන හිටියා” යැයි රාහුල් ගාන්ධි කීවේය. 

“මගේ අත්තම්මා මට කිව්වා එයා මැරෙන්න යන බව. මම තාත්තාට කිව්වා තාත්තා මැරෙන්න යන බව ” යැයි රාහුල් ගාන්ධි කීය. රාහුල් ගාන්ධිගේ මෙම ප්‍රකාශය දැක්වෙන වීඩියෝ පටය කොංග්‍රස් පක්ෂයේ නිල ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබිණි. ප්‍රශ්න සහ පිළිතුරුවලින් සමන්විත එම වීඩියෝව පැයක් පමණ දිගු වේ. 

ඉන්දිරා ගාන්ධි ඝාතනයට ලක්වූයේ 1984 වසරේදීය. ඒ ඇගේ ආරක්ෂකයන් අතිනි. 

හිටපු අගමැති රජිව් ගාන්ධි ශ්‍රී ලාංකික දෙමළක කතක් 1991 වසරේ දී චෙන්නායි නුවර දී එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බයකට ගොදුරු වීමෙන් ජීවිතක්ෂයට පත්විය. රජිව් ගාන්ධි ඝාතනය කිරීම කොටි සංවිධානය කළ ලොකුම වරද යැයි ඇන්ටන් බාලසිංහම් උපුටා දක්වමින් 2016 වසරේ ප්‍රකාශයට පත්වූ කෘතියක දැක්විණි.

හතළිස් හත්වැනි වියේ පසුවන රාහුල් ගාන්ධි මීට පෙර බොහෝ අවස්ථාවලදී තම පියාගේ ඝාතනය සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේය. හිටපු අගමැතිවරයාගේ ඝාතනයට චෝදනා ලැබ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටි පුද්ගලයන් හත්දෙනකු නිදහස් කිරීමට තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහඇමතිනි ජයලලිතා ජයරාම් යෝජනා කළ අවස්ථාවේදී ද රාහුල් ගාන්ධි ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් වැළැකි සිටියේය. “එය රජය ගත යුතු තීරණයක්. මෙය මගේ පුද්ගලික තීරණ ගැන කියන්න වෙලාවක් නෙමෙයි” යැයි හෙතෙම කීය. 

හර්ෂණ තුෂාර

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS