ගුවන් නියමුවෝ වීරයෝ වෙති



මුහුදු ලිහිණියන් රංචුවක් ගැටී ඇන්ජින් අක්‍රිය වී කඩා වැටෙන්න ගිය රුසියන් මගී ගුවන් යානය ඉතා ආරක්ෂාකාරී අයුරින් හදිසි ගොඩබෑමට සලස්වා එහි සිටි මගීන් 233 දෙනා බේරාගත් යානයේ නියමුවන් දෙදෙනා වීරයන් බවට පත්වී ඇතැයි රුසියන් මාධ්‍ය වාර්තා කරයි.

අංක 321 එයාර්බස් වර්ගයේ මගී යානය මොස්කව් සුකොව්ස්කි ගුවන්තොටුපොළන් ගුවන්ගත වූයේ මගීන් 226 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකන් හත් දෙනකු සමඟ ක්‍රිමියාවේ සිම්ෆෙරපෝල් බලා යාමටය. ක්‍රිමියාව යුක්රේනයේ කොටසකි. එය රුසියාව විසින් බලෙන් අත්පත් කරගෙන සිටී. යුක්රේනය අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් කොටසකි.

මුහුදු ලිහිණියන් ගැටී ඇන්ජින් අක්‍රිය වෙද්දී යානය ඉන්ධනවලින් ද පිරී තිබුණි. සැණෙකින් නියමුවන් තීරණය කර ඇත්තේ යානයට ගුවනේ පාවී යෑමට ඉඩ හැර එය ගොඩබෑමටය. ඔවුන් ඒ සඳහා තෝරාගත්තේ පහළින් පිහිටි බඩ ඉරිඟු වගා කළ ඉඩමකි.

යානය ගොඩබෑමේදී මගීන්කිහිප දෙනකු සුළු තුවාල ලැබුවත් ඒ කිසිවකුගේ තත්ත්වය බරපතල නොවුණු බව රුසියානු පුවත් සේවා වාර්තා කර තිබේ.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS