කොරෝනා මර්දනයට මාස්ක් අනිවාර්ය කරනවා



‘කොවිඞ් 19’ වයිරසය පාලනය කර ගැනීමට නම්, ඇමෙරිකානුවන් සෑම දෙනාම, සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින්, මුහුණු ආවරණ පැලදීම අනිවාර්ය බව ජෝ බයිඩන් පවසයි.

පසුගිය දා පැවැති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළේ බයිඩන්ය. ඒ, ඉලෙක්ට්‍රෝරල් ඡන්ද (ඡන්ද ගණ) 270 සීමාව පසු කරමින් ඡන්ද ලබා ගත් බැවිනි. ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් බයිඩන්ගේ එම ජයග්‍රහණය පිළි ගැනීමට සූදානම් නොවන අතර, ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ට්‍රම්ප් අභියෝගයට ලක් කර තිබේ. ඒ අනුව, ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා කවුරුන්දැයි මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නැත.

තමන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළොත්, පළමු දිනයේ පටන්, ‘කොවිඞ් 19’ වයිරසයට එරෙහිව සටන් කරනවා යැයි බයිඩන් පවසා ඇත. බයිඩන් දිවුරුම් දීමට නියමිතව ඇත්තේ ලබන වසරේ ජනවාරියේය. කෙසේ නමුත් වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණ ඇතිව බයිඩන් කොරෝනා කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇත. ඒ, ඇමෙරිකාවේ විශේෂඥ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය බලධාරීන් එකමුතු කරමිනි.

‘කොවිඞ් 19’ වයිරසය සම්බන්ධයෙන් රිපබ්ලිකන් ජනාධිපති ට්‍රම්ප් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළත්, බයිඩන් එසේ නොකරයි. සෑම ඇමෙරිකානුවකුම මුහුණු ආවරණ පැලඳිය යුතු යැයි බයිඩන් කළ ප්‍රකාශයට ට්‍රම්ප් හිතවාදී රිපබ්ලිකන්වරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS