කෙස් දන් දෙයි !



ප්‍රංශයේ සමානාත්මතාව පිළිබඳ ඇමතිනී මාලීන් ෂියාපා සිය හිසකෙස්, පිළිකා රෝගයෙන් පීඩා විඳින කාන්තාවන් වෙනුවෙන් කෘත්‍රිම කෙස් වැටි (wigs) සකසන පුණ්‍යායතනයකට පරිත්‍යාග කර තිබේ.

ඇය එසේ කර ඇත්තේ, සෙසු කාන්තාවන් ද එසේ කිරීම සඳහා පෙළඹවීමටය.

මාලීන් ෂියාපා පවසා ඇත්තේ, සිය සොහොයුරිය දෙවසරකට වරක් ඇයගේ හිසකෙස් පරිත්‍යාග කිරීම නිසා තමන් ද ඊට පෙළඹුණු බවය.

පිළිකා රෝගී කාන්තාවන්ට සිය ප්‍රතිකර සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන හෙයින් කෘත්‍රිම හිසකෙස් මිල දී ගැනීමට හැකියාවක් නොමැති බව අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

"පිළිකා ප්‍රතිකාර මගින් හිසකෙස් අහිමි වුණ කාන්තාවන්ට කෘත්‍රිම හිසකෙස් සඳහා වැය වන මුදල දරා ගන්න අමාරුයි," අමාත්‍යවරිය සඳහන් කළාය.

ඇය ප්‍රකාශ කළේ, මුලින් මෙම තීරණය ගැනීමට අපහසුතාවක් පැවතුණ ද එම තීරණය හරහා සමාජයට ලැබෙන පණිවුඩය ගැන සිතා එය කිරීමට තීරණය කළ බවය.

"හිසකෙස් පරිත්‍යාග කිරීම හරි ම පහසුයි. සෙන්ටිමීටර් 25 ක් විතර දිග කෙස් මිටක් හෝ කීපයක් කපල තැපැල් කරන්න."
පිළිකා රෝගී කතුන් වෙනුවෙන් හිසකෙස් පරිත්‍යාග කිරීමට ලෝකයේ බොහෝ රටවල කාන්තාවන් මේ වන විට යොමු වී ඇත

( තිළිණි ද සිල්වා )
ගාඩියන් ඇසුරෙනි.


RECOMMEND POSTS