කටු ඔටුන්න බේරා ගත් දේවගැතිවරයා



ජේසුතුමන්ගේ කටු ඔටුන්න ද තැන්පත් කර තිබුණේ ගින්නට හසුවීමෙන් විනාශ වූ නොත්‍රදාම් දෙව්මැදුරේ ය.

ගින්න හටගත් අවස්ථාවේදී කටු ඔටුන්න ගින්නෙන් බේරා ගත්තේ, ගින්න නිවා දැමීමට පැමිණි, පැරිස් ගිනි නිවන හමුදාවේ දේවගැතිවරයා ලෙස කටයුතු කරන ජෝන් මාක් ෆ්රුනියේ ය.

තම දිවි පරදුවට තබා දෙව්මැදුරට ගොස් කටු ඔටුන්න බේරාගත් ෆ්රුනියේ මේ වනවිට ප්‍රංශ වැසියන්ගේ වීරයකු බවට පත් වී සිටින බව ද එරට පුවත් සේවා වාර්තා කරයි.

පැරිස් නුවර ගිනි නිවන දෙපාර්තමේන්තුවේ දේවගැතිවරයා වීමට පෙර, හමුදා දේවගැතිවරයකු ලෙස ප්‍රංශ හමුදා සමඟ එක්වී, ෆ්රුනියේ ඇෆ්ගනිස්තානයට ගොස් සිටියේය. ඒ, 2004 දී හමුදා සේවයට බැඳීමෙන් පසුවය.

එක් අවස්ථාවක ෆ්රුනියේ සහ ඔහුගේ සෙබළුන් කණ්ඩායම වට කරමින් තලේබාන් ත්‍රස්තයන් ප්‍රහාරයක් එල්ල කර ඇත. තුවාල ලැබූ ෆ්රුනියේ එම ප්‍රහාරයෙන් දිවි ගලවා ගෙන ඇත්තේ තවත් ප්‍රංශ සෙබළුන් කිහිප දෙනකුගේ ද දිවි බේරා ගනිමින් යැයි ප්‍රංශ පුවත් සේවා සඳහන් කරයි.

ෆ්රුනියේ වසර 7 ක් හමුදා දේවගැතිවරයා ලෙස සේවය කළේය. ඔහු පැරිස් ගිනි නිවන හමුදාවට එක් වූයේ යළි ප්‍රංශය බලා පැමිණීමෙන් පසුවය.

2015 දී ප්‍රංශයේ බැටක්ලන් නුවරට එල්ල වුණු අයි.එස්.අයි.එස්. ත්‍රස්ත ප්‍රහාරයේදී ද කඩිනමින් ගොස් තුවාලකරුවන්ට පිහිට වූ අයකු ලෙස ජෝන් මාක් ෆ්රුනියේ ප්‍රකටය. එල්ල වුණු එම ත්‍රස්ත ප්‍රහාරයෙන් 85 ක් ජීවිතක්ෂයට පත්වූහ.

ගින්න හටගත් අවස්ථාවේ කටු ඔටුන්න පමණක් නොව, තවත් ආගමික වටිනාකමකින් යුත් පෞරාණික භාණ්ඩ ඉවතට ගැනීම සිදුවිය. ගින්නෙන් දෙව්මැදුරේ රන් කුරුසියට හානියක් සිදු නොවුණු බව ද වාර්තා විය.

පැරිසියේදීය (ඬේලිමේල්)


RECOMMEND POSTS