උණුසුම් පිළිගැනීමක්



කියුබා ජනාධිපති මිගුවෙල් දියේස් කැනැල් උතුරු කොරියාවේ නිල සංචාරයක් සඳහා පැමිණියේය.

උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගෙන් කියුබා ජනාධිපතිවරයා ප්‍රමුඛ දූත පිරිසට හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි. කියුබා ජනාධිපති සමඟ බිරිඳ ලිස් කුරෙස්ටා ද සංචාරයට එක් වී සිටින්නීය.

කියුබා ජනාධිපති කැනැල් උතුරු කොරියාවට පැමිණියේ සිය පළමු විදෙස් සංචාරය යටතේය. කියුබා ජනාධිපතිවරයා පළමුවෙන් ම රුසියාවට ගියේය. ඒ ඉකුත් සති අන්තයේය. උතුරු කොරියා සංචාරයෙන් පසු චීනයට, වියට්නාමයට සහ ලාඕසයට යෑමට කියුබා ජනාධිපතිවරයා සූදානමින් සිටී.

කියුබා ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස, උතුරු කොරියාවේ යොංග්යැංග් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී, උතුරු කොරියා නායකයා සහ බිරිඳ රී සෝල් ජුන් ගුවන් තොටුපොළට ගොස් ඔවුන් පිළිගත්හ. ඒ හමුදා උත්තමාචාර මධ්‍යයේය.

දෙරටටම වැදගත් කරුණු කාරණා රැසක් සම්බන්ධයෙන් පමණක් නොව, වර්තමාන ජගත් දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ද කියුබා ජනාධිපති සහ උතුරු කොරියා නායකයා අතරේ සාකච්ඡා පැවැත්විණි.

කියුබා ජනාධිපතිවරයාගේ සංචාරයට සමගාමීව, ඔහුගේත්, උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේත් සිතුවම් කරන ලද ඡායාරූප යොංග්යැංග් අගනුවර ප්‍රදර්ශනයට තැබුණි. උතුරු කොරියානු රජය නිවේදනය කළේ මෙය උතුරු කොරියා ජනාධිපති කිම් ජොන් උන්ගේ පළමු නිල සිතුවම් ඡායාරූපය කියාය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS