ඉම්රාන් ඛාන් දිවුරුම් දෙයි



පාකිස්තානයේ 22 වැනි අගමැතිවරයා ලෙස ඉම්රාන් ඛාන් ඊයේ (18) දිවුරුම් දුන්නේය.

නව අගමැති ලෙස ඉම්රාන් දිවුම්රුම් දුන්නේ, ඉස්ලාමාබාද් අගනුවර ජනාධිපති මන්දිරයේ පැවැති විශේෂ උත්සවයකදීය. දිවුරුම්දීම සිදුවූයේ පාකිස්තාන ජනාධිපති මන්මූන් හුසේන් ඉදිරියේය.

ඉම්රාන් ඛාන් නායකත්වය දෙන්නේ තරීක් ඊ ඉන්සාෆ් දේශපාලන පක්ෂයටය. ප්‍රධාන විපක්ෂ බලවේගයක් ලෙස තරීක් ඊ ඉන්සාෆ් හෙවත් පී.ටී.අයි. පක්ෂය ඉකුත් ජූලි 25 වැනිදා පැවැත්වුණු මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළේය.

එම මැතිවරණයේදී දෙවැනි ස්ථානයට පත් වූයේ බලයේ රැඳී සිටි හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය එන් පක්ෂයයි. එම පක්ෂය මෙහෙයවූයේ නවාස් ෂරීෆ්ගේ සොහොයුරා ෂෙබාස් ෂරීෆ්ය. මූල්‍ය වංචා සහ අයථා ලෙස මුදල් රැස්කිරීම ආදී චෝදනාවලට වරදකරුවී සිටින නවාස් ෂරීෆ් මේ වනවිට සිරදඬුවම් විඳිමින් සිටී.

ඉකුත් සිකුරාදා දිනයේ (17) පාකිස්තාන පාර්ලිමේන්තුව රැස්විය. නව කතා නායකවරයා ලෙස ඉම්රාන් ඛාන්ට පක්ෂපාතී අසාද් කයිසර් තෝරා පත් කර ගැනීම සිදුවිය.

ඉන්පසු අගමැතිධුරය හිමිවිය යුත්තේ කාටදැයි යන්න සම්බන්ධයෙන් ඡන්ද විමසුමක් පැවැත්විය. ඒ, ඉම්රාන් සහ ෂෙබාස් ෂරීෆ් අතරේ ය. එහිදී පාර්ලිමේන්තු නියෝජිතයෝ 176 දෙනක් ඉම්රාන්ට කැමැත්ත පළ කරමින් ඔහු සමඟ එක් වූහ. ෂරීෆ්ට හිමිවූයේ 96 දෙනකුගේ සහාය පමණි.

ඒ අනුව ඉම්රාන් ඛාන් පාකිස්තාන නව අගමැතිවරයා බවට පත්වුණු අතර, මැතිවරණයේදී බහුතර බලයක් හිමිකර ගැනීමට නොහැකි වූ හෙයින්, ඔහු ඔහුට හිතවත් පක්ෂ එක් කර ගනිමින් රජයක් පිහිටුවීය.

රට පෙරට තබා කටයුතු කරන බවත්, දූෂණ වංචා සිදුකළ කිසිවකුට සමාවක් නොදෙන බවත් නව පාකිස්තානයක් බිහිකරන බවත්  ඉම්රාන් පාර්ලිමේන්තුවේ පැවැත්වුණු ඡන්ද විමසුමෙන් පසු මාධ්‍ය හමුවේ කියා සිටියේය.

පාකිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන තලේබාන් ත්‍රස්තවාදීන් සමඟ සාකච්ඡා කර විසඳුමක් සෙවීමට, අසල්වැසි ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය සමඟ යහපත් සබඳතා ඇතිකර ගැනීම, ඇමෙරිකාව සමඟ අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට ගරු කරමින් සබඳතා පැවැත්වීමට පියවර ගන්නා බවට නව අගමැති ඉම්රාන් පොරොන්දු වී ඇත.

(රොයිටර්/එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS