ඉන්දුනීසියා ජනපති විපක්ෂ නායක හමුවෙති



ඉන්දුනීසියා ජනාධිපති යොකෝ විඩෝඩෝ මසහ එරට විපක්ෂ නායක පරබෝවෝ සුබියන්තෝ ඊයේ (13) දුම්රියකදී හමුවී, සාකච්ඡා පවත්වමින්, දෙදෙනා අතර පැවැති නොහොඳ නෝක්කඩු අවසන් කර ගත්හ.

ඉන්දුනීසියාවේ ජනාධිපතිවරණය පැවැත්වූයේ පසුගිය අප්‍රේල් මාසයේය. ජනාධිපතිවරණය පමණක් නොව, පාර්ලිමේන්තු මැතිවරණය සහ  පළාත්සභා මැතිවරණ ද එකම දිනයක පැවැත්විණි. තියුණු සටනකින් පසු යළිත් වරක් යෝකෝ විඩෝඩෝ ජනපති ධුරයට පත්විය.

ජනපතිවරණ ප්‍රතිඵල පිළිගැනීමට ප්‍රතිවාදී අපේක්ෂකයා වූ පරබෝවෝ සුබියන්තෝ කැමැත්තක් දැක්වූයේ නැත. ඒ, මැතිවරණ වංචා සිදුවුණු බවට චෝදනා කරමින්ය. ඒ අනුව, පරබෝවෝ සුබියන්තෝගේ හිතවාදීන් පැවැති විරෝධතා උත්සන්න වූ අතර විරෝධතාකරුවන් මර්දනයට හමුදාවත් පොලිසියත් යෙදවිණි.

ජනාධිපති යෝකෝ විඩෝඩෝ සහ විපක්ෂ නායක පරබෝවෝ සුබියන්තෝ අතර නොහොඳ නෝක්කඩු හටතග් ගත්තේය. අවසානයේ දී අධිකරණය තීන්දු කළේ මැතිවරණ කටයුතු සාධාරණව පැවැති බවත් යෝකෝ විඩෝඩෝ යළිත් ජනපති ධුරයට පත්වනු ඇති බවත්ය.

ඊයේ (13) ඉන්දුනීසියාවේ දුම්රිය පද්ධතියට පරිසර හිතකාමී නව දුම්රිය සේවයක් එක් විය. එම දුම්රිය සේවය ආරම්භ වූයේ ජනාධිපති විඩෝඩෝගේ ප්‍රධානත්වයෙනි. එම අවස්ථාවට විපක්ෂ නායක සුබියන්තෝ ද සහභාගී වූ අතර, දෙදෙනා මංගල දුම්රිය ගමනට එක් වූයේ එක ළඟ අසුන් ගනිමිනි.

රට වැසියන්ගේ යහපත සහ සමෘද්ධිය වෙනුවෙන්, එදිරිවාදිකම් පසෙකලා සහයෝගයෙන් කටයුතු කිරීමට මෙහිදී එකඟතාවක් ද ඇති කරගත් බව වාර්තා වේ. එදිවාරිදිකම් අවසන් බව පෙන්වමින්, විපක්ෂ නායකවරයා ජනාධිපති වුඩෝඩෝ ට අතට අත දී සුබ පැතුවේය.

ජකර්තාහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS