ඉන්දු කාශ්මීර විරෝධතාවලට සහාය දක්වන්න යන්න එපා



ඉන්දු කාශ්මීරයේ මුස්ලිම් වැසියන් ඉන්දීය බලධාරීන්ට එරෙහිව පවත්වන විරෝධතාවලට සහාය පළ කරමින්, ඉන්දු කාශ්මීරයට ගොස් එම විරෝධතාකරුවන්ට එක්වීමෙන් වලකින්නැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පාකිස්තාන වැසියන්ට පවසා ඇත.

‘ඉන්දු කාශ්මීරයේ මුස්ලිම් වැසියන්ට සිදුවුණු අසාධාරණය පැහැදිලියි. ඒත් පාකිස්තානයෙන් කවුරුන් හෝ ඉන්දු කාශ්මීරයට ගිහින් ඉන්දු කාශ්මීර වැසියන්ගේ විරෝධතාවලට එක්වුණොත්, එය ඉන්දු කාශ්මීර වැසියන් තවත් අගතියට පත් කිරීමට හේතුවක් වේවි’ යැයි අගමැති ඉම්රාන් කියයි.

‘පාකිස්තානුවන් ඉන්දු කාශ්මීර වැසියන්ගේ විරෝධතාවලට එක්වී සිටිනවා යැයි ඉන්දියාව දැනගත්තොත්, ඉන්දීය බලධාරීන් කාශ්මීර වැසියන්ට තව තවත් බලපෑම් කරාවි. ඔවුන් පීඩාවට පත් කරාවි. ඒකට ඉඩක් දෙන්න එපා’ යැයි අගමැති ඉම්රාන් ඛාන් පැහැදිලි කර තිබේ.

ඉන්දු කාශ්මීරය යනු ඉන්දියාවේ පාලනයට නතු කාශ්මීරයයි. කාශ්මීරය ඉන්දු කාශ්මීරය සහ පාකිස්තාන කාශ්මීරය යනුවෙන් කොටස් දෙකකි. ඉන්දියාවට නිදහස ලැබී පාකිස්තානය ලෙස මුස්ලිම් රාජ්‍යයක් බිහිවෙද්දී, කාශ්මීරයේ ජම්මු, කාශ්මීර සහ ලඩාක් යන පළාත් තුන ඉන්දියාවට එක් විය. ඉන්දු කාශ්මීරය ලෙස සැලකෙන්නේ ජම්මු, කාශ්මීර සහ ලඩාක් ය.

ඉන්දු කාශ්මීරයට විශේෂ බලතල සහ ස්වයං පාලනයක් ලබා දී තිබුණි. ඒ, ඉන්දීය ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය අනුවය. එම වගන්තිය ඉන්දීය අගමැති මෝදිගේ රජය අහෝසි කළේ පසුගිය අගෝස්තු 5 වැනිදාය. ඒ අනුව, ඉන්දු කාශ්මීරය ඉන්දීය මධ්‍යම රජයේ පාලනය යටතට පත් විය.

එය සිදුවූයේ ඉන්දු කාශ්මීර වැසියන් දැඩි ලෙස මර්දනය කරමිනි. ඉන්දු කාශ්මීරයට අන්තර්ජාල සහ දුරකතන පහසුකම් අත්හිටුවීමට ද ඉන්දීය රජය පියවර ගෙන ඇත. එපමණක් නොව කාශ්මීරයේ දේශපාලන ක්‍රියාකාරීන් නිවාස අඩස්සියට ගනු ලැබ ඇතැයි ද වාර්තා වේ. ජම්මු සහ කාශ්මීරයේ මුස්ලිම් වැසියන් ඉන්දීය රජයට එරෙහිව විරෝධතා පවත්වන නමුත්, එම විරෝධතා විසුරුවා හැරීමට පොලිසිය සහ හමුදාව කටයුතු කරන බව පැවැසෙයි.

ඉන්දු කාශ්මීර අර්බුදය මුල්කොට ගනිමින් පාකිස්තානය ඉන්දියාව සමඟ අමනාප වී සිටී. පාකිස්තාන ගුවන් සීමාව පවා ඉන්දියාවට තහනම් කර ඇත. ඉන්දියාව ඇෆ්ගනිස්තානය සමඟ වෙළෙඳ ගනුදෙනු සිදු කරන්නේ පාකිස්තානය හරහාය. පාකිස්තාන ගුවන් සීමාව ඉන්දියාවට අවලංගු කිරීම හේතුවෙන් එම වෙළෙඳ ගනුදෙනුවලට ද බාධා එල්ල වී තිබේ.

ඉස්ලාමාබාද්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS