ඉන්දීය හිටපු මුදල් ඇමතිගේ නිවස පරීක්ෂාවට



ඉන්දීය මධ්‍යම රහස් ඔත්තු අංශය (CBI) හිටපු මුදල් ඇමති පී.චිදම්බරම් සහ ඔහුගේ පුත්‍රයාට අයත් නිවාස සෝදිසි කරන ලද බවක් වාර්තා වෙයි.

එම සෝදිසි කිරීම් කරනු ලැබ තිබෙන්නේ හිටපු ඇමතිවරයා බලයේ සිටියදී මූල්‍ය වංචා සිදු කරනු ලැබ තිබෙන්නේද යන්න සම්බන්ධයෙනි.

හිටපු මුදල් ඇමතිවරයා පදවියේ කටයුතු කළ කාලය තුළ අනුමත කර ඇති විදේශීය ආයෝජනවල දී සාපරාධී අක්‍රමිකතා සිදුව ඇති බවට සැකයක් මතුව ඇති හෙයින් එම සෝදිසි කිරීම් සිදුකරන බව ඉන්දීය මධ්‍යම රහස් ඔත්තු අංශය පවසයි.

මේ අනුව ඉන්දීය කොංග්‍රස් පක්ෂය බලයේ සිටියදී මුදල් ඇමති පදවිය දැරූ පී.චිදම්බරම් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සතු නගර කීපයක නිවාස සෝදිසි කිරීමට ලක්කළ බව ඉන්දීය වාර්තා මගින් පැවසෙයි.

චෙන්නායි,මුම්බායි,දිල්ලි සහ ගුරාගොන් නගරවල පිහිටි හිටපු මුදල් ඇමතිවරයාට සහ ඔහුගේ පුත්‍රයාට අයත් නිවාස පරීක්ෂා කරන ලද බව ඉන්දීය මධ්‍යම රහස් ඔත්තු අංශයේ ප්‍රකාශකයෙක් බීබීසිය කළ විමසීමක දී සඳහන් කළේය.

තමන් කිසිදු වරදක් සිදුකර නැතැයි කියා සිටින හිටපු මුදල් ඇමති පී.චිදම්බරම් අදාළ පරීක්ෂණ තමා නිහඬ කිරීමේ ප්‍රයත්නයක් ලෙස විග්‍රහ කරයි.

ඔහු පාලක භාරතීය ජනතා පක්ෂය මෙන්ම අගමැති නරේන්ද්‍ර මෝදි ගේ ප්‍රතිපත්ති,දේශන සහ ලිපි ආදිය දැඩිලෙස දෝෂ දර්ශනයට ලක් කරන්නෙකි.

තිළිණි ද සිල්වා
(බී.බී.සී. ඇසුරිනි)


RECOMMEND POSTS