ඉන්දීය හමුදා ප්‍රහාරයකට මුහුණ දෙන්න පාකිස්තානය සීරුවෙන්



ඉන්දීය හමුදා පහර දීමක් කළොත්, ඊට මුහුණ දීමට සූදානමින් සිටින්නැයි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්, එරට හමුදාවට උපදෙස් දී ඇතැයි පාකිස්තාන පුවත් සේවා වාර්තා කරයි.

න්‍යෂ්ටික බලවතුන් දෙදෙනකු වන ඉන්දියාව සහ පාකිස්තානය අතර නව අර්බුදයක් නිර්මාණය වූයේ ඉකුත් 14 වැනිදා, ඉන්දියාවේ පාලනයට නතු කාශ්මීරයේ ඉන්දීය ආරක්ෂක සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හේතුවෙනි.

එම බෝම්බ ප්‍රහාරයෙන් ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයෝ 46 ක් ජීවිතක්ෂයට පත් වූහ. 1989 වසරෙන් පසු, ඉන්දීය ආරක්ෂක අංශ ඉලක්ක කරගනිමින් එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය බව පැවැසෙයි.

පුල්වාමා දිස්ත්‍රික්කයේ සිදුවුණු එම ප්‍රහාරයේ වගකීම ‘ජායිෂ් ඊ මොහොමද්’ ත්‍රස්ත කල්ලිය විසින් බාර ගනු ලැබ ඇත. ‘ජායිෂ් ඊ මොහොමද්’ ත්‍රස්ත කල්ලියට පාකිස්තාන රජයේ සහ එරට අයි.එස්.අයි. බුද්ධි අංශයේ සහාහ හිමිවන බවට ඉන්දීය රජය සහ හමුදාව චෝදනා කරයි.

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් එම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, ඔහු පවසා ඇත්තේ ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ සඳහා සහාය දක්වන බවය. ඊට ප්‍රතිචාර දක්වමින්, පාකිස්තාන අගමැතිවරයා සහ ඔහුගේ රජයෙන් කිසිදු සහායක් අවශ්‍ය නොවන බව ඉන්දියාව පවසා ඇත.

පාකිස්තාන අගමැති ඉම්රාන්, ඊයේ (21) එරට හමුදා ප්‍රධානීන් සහ ආරක්ෂක මණ්ඩල සාමාජිකයන් හමුවී සාකච්ඡා පැවැත්වීය. ඒ, ඉන්දියාව පහර දීමක් කළොත් ඊට කෙසේ මුහුණ දිය යුතු ද යන්න සම්බන්ධයෙනි. ඉන්දීය හමුදාව පහර දීමක් කළොත්, ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පසුබට නොවන්නැයි අගමැති ඉම්රාන් එරට හමුදාවට උපදෙස් දුන්නේ එම අවස්ථාවේදීය.

ඉස්ලාමාබාද්හිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS