ඉන්දීය සහ චීන හමුදා අතර ගැටුම්කාරී තත්ත්වයක්



නැගෙනහිර ලඩාක් හි පැන්ගොන්ග් විල ආශ්‍රිත ප්‍රදේශයේ ඉන්දීය සහ චීන හමුදා අතර ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වූ අතර එම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම තමන්ට අයත් සහ තම පාලනයට නතු ප්‍රදේශයක් බව චීනය අවධාරණය කරයි.

විලේ ඉවුරු ආශ්‍රිත ප්‍රදේශයේ ගැටුම්කාරී තත්ත්වයක් ඇති වූ බවත් සාකච්ඡා මාර්ගයෙන් එය විසඳා ගත් බවත් ඉන්දීය ආරක්ෂක අංශ ආරංචි මාර්ගවල සඳහන් කළේය.

ඉන්දීය හමුදා මෙම සංචාරයේ මුර සංචාරයේ යෙදී සිට ඇති චීන හමුදාවෙන් එල්ල වූ විරෝධයක් එල්ල වීමත් ඉන්දීය හමුදා ඊට කන් නොදීමත් නිසා මතභේදාත්මක තත්ත්වය ඇති වී තිබේ.

නැගෙනහිර ලඩාක් ප්‍රදේශයේ විල ආශ්‍රිත ප්‍රදේශයේ තුනෙන් දෙකක් පාලනය කරන්නේ චීනයයි.

සිදුවීම වාර්තා වූ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම චීනයට අයත් බවත් එය චීන පාලනයට නතු ප්‍රදේශයක් බවත් මාධ්‍ය කළ විමසුමකට ලිඛිතව පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

චීන හමුදා සෑමවිටම ඉන්දියාව සහ චීනය අතර තිබෙන අදාළ ගිවිසුම් සහ එකඟතාවලට අනුව කටයුතු කරන බව ද චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබිණි. චීන හමුදා නිරන්තරයෙන් මෙම ප්‍රදේශවල මුර සංචාරවල යෙදෙන බවත් ඉන්දියාව සහ චීනය මෙම අර්බුදය සංකීර්ණ නොවීමට ඉඩ නොදී විසඳා ගන්නා බවත් දෙරටට බලපාන දේශසීමාවල සාමය හා සමඟ ආරක්ෂා කිරීමට දෙරට කටයුතු කරන බවත් චීන විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්විණි.

ජම්මු සහ කාශ්මීරයට ලබා දී තිබු විශේෂ බලතල ඉවත් කිරීමට ඉන්දීය රජය පියවර ගැනීමෙන් පසු ලඩාක් මුල් කර ගනිමින් ඉන්දියාව සහ චීනය අතර අර්බුදකාරී තත්ත්වයක් ඇති වූ පළමු අවස්ථාව මෙයයි. විශේෂ බලතල ඉවත් කිරීමෙන් පසුව ඉන්දියාව ලඩාක් ජම්මු සහ කාශ්මීරයෙන් වෙන් කර වෙනම පාලන ප්‍රදේශයක් ලෙස නම් කිරීමට ද පියවර ගත්තේය.

ලඩාක් වෙනම පාලන ප්‍රදේශයක් බවට පත් කිරීමට චීනයෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර ලඩාක් වෙනම පාලන ප්‍රදේශයක් ලෙස නම් කිරීම එම පාලන ප්‍රදේශයේ ස්වෛරීත්වය හෑල්ලුවට ලක් කිරීමක් යැයි ද ප්‍රකාශ කළේය.

ඊට දැඩි ප්‍රතිචාර දැක්වූ ඉන්දියාව, චීනය ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමෙන් වැළැකී සිටිය යුතු යැයි අවධාරණය කළේය.  

ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරිනි 


RECOMMEND POSTS