ඉන්දියාවේ රෝහලක දරුවෝ 63 ක් මියයති



උතුරු ඉන්දියාවේ ලක්නව් නුවර රජයේ රෝහලක ළමා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි අලුත උපන් බිළිඳන් ද ඇතුළු කුඩා දරුවන් 63 දෙනකු ගතවුණු දින කීපය ඇතුළත මියගිය ගොස් ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

මරණ වාර්තා වී ඇත්තේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ගොරක්පූර් දිස්ත්‍රික්කයේ බාබා රඝාව් දාස් ශික්ෂණ රෝහලෙනි. මියගිය බිළිඳන් සහ දරුවන්ගෙන් වැඩි දෙනා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අය යැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඔවුන් අතරින් ද මියගිය වැඩිදෙනා එන්සෙපලයිටිස් හෙවත් මොළය ඉදිමීමේ රෝගී තත්ත්වයෙන් පීඩා විදි දරුවන් බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මරණ සිදුවූයේ දැඩි සත්කාර ඒකකයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණවත් තරමින් නොතිබීම නිසා යැයි මියගිය දරුවන්ගේ මාපියෝ චෝදනා කරති.  ඔවුන් මියගිය තම දරු දැරියන් තුරුලු කර ගනිමින්, රෝහලේ හඬා වැළපෙන සංවේදී දසුන් ඉන්දීය පුවත් නාළිකා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වෙමින් තිබේ.

දරුවන් මියයෑමට පටන්ගෙන ඇත්තේ පසුගිය අඟහරුවාදා සිටය. පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දෙදින පමණක්, බිළිඳන් සහ දරුවන් 33 දෙනෙකු මියගිය බව ද වාර්තා වේ.

ඔක්සිජන් ටැංකි සැපැයුම්කරුවන්ට නිසි ලෙස මුදල් ගෙවීම් නොකළ හෙයින්, රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඔක්සිජන් ටැංකි නොලැබී ඔක්සිජන් හිඟයක් පවතින බවට බාබා රඝාව් දාස් රෝහල් බලධාරීන්ට එල්ල වී ඇති චෝදනා රෝහල් බලධාරීහු තරයේ ප්‍රතික්ෂේප කරති.

ඔක්සිජන් සැපැයුම්කරුවන්ට මුදල් ගෙවීමේදී ගැටලු මතුවී ඇති බව තමන් පිළිගන්නා නමුත් මරණ සිදුවීමට හේතුව ඔක්සිජන් නොමැතිකම යැයි පිළිගැනීමට නොහැකි බව රෝහල් අධ්‍යක්ෂ අනිල් කුමාර් පසුගිය සිකුරාදා මාධ්‍ය හමුවේ කියා සිටියේය.  මියගිය වැඩි දෙනා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කළ බව ද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් පවසා තිබුණි.

කෙසේ නමුත් ඉන්දීය පුවත් සේවා වාර්තා කළේ රෝහල් අධ්‍යක්ෂවරයා සිය ධුරයෙන් නෙරපා දැමීමට ප්‍රාන්ත බලධාරීන් පියවර ගත් බවය.

උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත මහ ඇමැති යෝගී ආධිත්‍යනාත් පවසා ඇත්තේ රෝහලේ කටයුතු ගැන තමන් විමසිල්ලෙන් සිටින බවය. ඔහු රෝහලේ සංචාරයකට පැමිණියේය.

රෝහලේ සිදුවුණු ළමා මරණ සම්බන්ධයෙන් මහ ඇමැතිවරයා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතරේ දුරකතන ඇමැතුමක් පැවැති බව ද වාර්තා විය.

ඔක්සිජන් ටැංකිවල අඩුවක් හේතුවෙන් මරණ සිදුවී ඇති බව ඔප්පු වුවහොත්, ඊට අදාල සියලුම රෝහල් බලධාරීන්ට දැඩි දඬුවම් ලබා දෙනවා යැයි ද මහ ඇමැතිවරයා පොරොන්දු වී ඇත.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS