ඉන්දියාව ලොව විශාලතම ආර්ථිකය වේවි



වසර 2030 වනවිට ඉන්දියාවට ලොව දෙවැනි විශාලතම ආර්ථිකය විය හැකි බව එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවැසීය.

ඉන්දියාව මේ වනවිට වේගයෙන් වර්ධනය වන විශාලතම ආර්ථිකය බවට පත්ව ඇතැයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කීවේය.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ආදී ලොව ප්‍රමුඛතම ආයතනත් ඒ සම්බන්ධයෙන් අනාවැකි පළ කර තිබෙනවා. අවිනිශ්චිත ගෝලීය ආර්ථික පරිසරය තුළ වුවද ඉන්දියාව දැවැන්ත ස්ථාවරත්වයක් පෙන්නුම් කර තිබෙනවා. ඉන්දියාව ලෝක ආර්ථිකයේ නැංගුරම ලෙස එවැනි ශක්තිමත් බවක් පෙන්නුම් කර තිබෙනවා” යැයි ඉන්දියාවේ ග්‍රේටර් නොයිඩා හි පැවැත්වෙන ‘පෙට්‍රෝටෙක් 2019’ සමුළුවේ ආරම්භක දේශනය කරමින් අග්‍රාමාත්‍ය මෝදි ඒ බව සඳහන් කළේය.

මෑතකදී ඉන්දියාව ලොව සයවැනි විශාලතම ආර්ථිකය වූ බව ද අගමැති මෝදි කීය.
“වර්තමානයේදී ලොව වේගයෙන්ම වර්ධනය විශාලතම ආර්ථිකය හිමි අපටයි. මෑතකදී අපේ ආර්ථිකය ලොව සයවැනි විශාලතම ආර්ථිකය බවට පත්වුණා. දැනට තිබෙන වාර්තාවලට අනුව 2030 වෙද්දි ඉන්දියාවට ලොව දෙවැනි විශාලතම ආර්ථිකය බවට පත්වෙන්න පුළුවන්” යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදී පැවැසීය.

ස්ටෑන්ඩර්ඞ් චාටඞ් වාර්තාවට අනුව 2030 වනවිට ඉන්දියාව ඇමෙරිකා එක්සත් ජනපදය පසු කරමින් ලොව දෙවැනි විශාලතම ආර්ථිකය බවට පත්වනු ඇතැයි පැවසේ. එහි මුල්තැන චීනයට හිමිවන බවත් ඇමෙරිකා එක්සත් ජනපදය තෙවැනි තැනට පත්වනු ඇති බවටත් අනාවැකි පළ වී තිබේ.

එන්.ඩී.ටීවී ඇසුරිනි


RECOMMEND POSTS