ඇෆ්ගන් සාමකතා සාර්ථකයි



අංශ කීපයකින් පැවැත්වෙන තලේබාන් සාම කතා සාර්ථක වෙමින් පවතින බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ඇෆ්ගනිස්තානයට සාමය උදා කිරීම සම්බන්ධයෙන්, ඇමෙරිකා රජය සහ ඇෆ්ගන් රජය අතරේත්, ඇමෙරිකා රජය සහ තලේබාන් සංවිධානය අතරේත් සාකච්ඡා පැවැත්වෙයි.

සාම කතා කඩිනම් කරමින්, ඇෆ්ගනිස්තානයට සාමය උදා කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් ආරම්භ කළ යුතු යැයි ඇමෙරිකා සහ ඇෆ්ගන් රජය ඒකාබද්ධ නිවේදන නිකුත් කර ඇති බවත්, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ සහ ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී අතර දුරකතන සන්වාද පැවැත්වෙන බවත් විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

ඇෆ්ගන් අර්බුදය ආරම්භ වූයේ 2001 වසර අවසානයේදීය. ඒ, 2011 සැප්තැම්බර් 11 ඇමෙරිකාවට පහර දුන් ඔසාමා බින් ලාඩන්ගේ නායකත්වයෙන් යුත් අල් කයිඩාවට ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානය සහාය දැක්වීම හේතුවෙනි. ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදාව ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කර, තලේබාන් පාලනය පෙරළා දැම්මේය. තලේබාන්වරුන්, අවි අතට ගෙන සටන් ආරම්භ කළේ ඉන්පසුවය.

මේ වනවිට ඇමෙරිකන් හමුදා පමණක් නොව, නේටෝවට සම්බන්ධ සෙසු විදෙස් හමුදා ද ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගොස් ඇත. ඇමෙරිකන් හමුදා සෙබළුන් අතලොස්සක් ඇෆ්ගනිස්තානයේ රඳවා ඇෆ්ගන් රජයේ හමුදාවට සහාය දැක්වීමටත් පුහුණුව දීමටත් ඇමෙරිකාව කටයුතු කරයි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අරමුණ වී ඇත්තේ, තලේබාන් අර්බුදය කඩිනමින් අවසන් කිරීමටය. කටාර් රාජ්‍යයේ දෝහා හි පිහිටුවා ඇති තලේබාන් සාම කාර්යාලය හරහා තලේබාන් නියෝජිතයන් සහ ඇමෙරිකන් නියෝජිතයන් අතර සාම කතා සාර්ථක වී ඇතැයි ද වාර්තා වේ.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS