ඇමෙරිකාව නිදහස සමරයි



‘කොවිඞ් 19’ වයිරස වසංගතයෙන් දරුණු ලෙස බැට කන ඇමෙරිකා එක්සත් ජනපදය පසුගිය 4 දා නිදහස් දිනය සැමරුවේය.
 

ජූලි 4 නිදහස් දිනය ඇමෙරිකාවේ විශේෂිත නිවාඩු දිනයක් වන අතර, ඇමෙරිකන් වැසියෝ කා බී විනෝද වෙමින් රාත්‍රියට මල්වෙඩි සංදර්ශන සහ සැණකෙළි පවත්වති.

කෙසේ නමුත් ‘කෙවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් මෙවර මල්වෙඩි සංදර්ශන සහ සැණකෙළි සීමා වූ බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේය.

පසුගිය දෙසැම්බරයේ චීනයෙන් ආරම්භ වුණු ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ නවතම කේන්ද්‍රස්ථානය බවට පත් වූයේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රසීලය ඇතුළු ලතින් ඇමෙරිකා රටවල්ය. ඇමෙරිකාවෙන් වර්තා වන ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 3,000,000 පසු කිරීමට නියමිතය. ඇමෙරිකාවෙන් වාර්තා වන ‘කොවිඞ් 19’ මරණ ගණන 1,33,000 කි.

වයිරස තර්ජන හමුවේ වුවත්, සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් උපදෙස් තැකීමක් නොකර, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ප්‍රධානත්වයෙන් සුපුරුදු පරිදි නිදහස් දින සැමැරුමක් ධවල මන්දිරයේ පැවැත්විණි.
ඇමෙරිකන් ජනාධිපති ආර්යාව මෙලානියා ද ඊට එක් වුණු අතර, ට්‍රම්ප් හෝ මෙලානියා හෝ මුහුණු ආවරණය කරගෙන සිටින අයුරු දකින්න ලැබුණේ නැත.

එම නිදහස් දින සැමරුම් උත්සවය ජනපති ට්‍රම්ප් දේශපාලනික රැලියක් බවට පත් කර ගත් බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

එලැබෙන නොවැම්බර් 3 වැනිදා ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙයි. දෙවැනි සහ අවසන් ධුර කාලය වෙනුවෙන් ට්‍රම්ප්, රිපබ්ලිකන් පක්ෂයෙන් ඊට ඉදිරිපත් වෙයි.

ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වන්නේ ඩිමොක්‍රටික් පකෂයේ ජෝ බයිඩන්ය. ට්‍රම්ප් මැතිවරණ රැලි පැවැත්වුවත්, බයිඩන් පවසා ඇත්තේ වයිරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්, ජනතාවගේ ආරක්ෂාවට මුල් තැන දෙමින් තමන් මැතිවරණ රැලි නොපවත්වන බවය.

මේ අතර, නිදහස් දිනය දා ද ඇමෙරිකාවේ ප්‍රධාන නගර කීපයක විරෝධතා රැලි පැවැත්විණි. ඒ, ඇමෙරිකන් කළු ජාතිකයන්ට සුදු පොලිස් නිලධාරීන්ගෙන් එල්ල වන ප්‍රචණ්ඩත්වයට එරෙහිවය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS