ඇමෙරිකන් නියෝජිතයා හමුවන්න කැමතියි



පවතින දේශපාලන අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට සාකච්ඡා පැවැත්වීම සඳහා තමන් ඇමෙරිකන් විශේෂ නියෝජිතවරයකුට වෙනිසියුලාවට පැමිණෙන්නැයි ඇරැයුම් කළ බව වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ කියයි.

වෙනිසියුලා ජනාධිපති මදුරෝ මේ බව කියා සිටියේ, ඇමෙරිකාවේ ‘ඇසෝසියේටඞ් ප්‍රෙස්’ පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

වෙනිසියුලා විදේශ ඇමැතිවරයා පසුගිය සති කිහිපයේ රහසේ ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී, ඇමෙරිකා රජයේ විශේෂ නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවත්වා ඇති බව ද ජනාධිපති මදුරෝ මාධ්‍ය හමුවේ වැඩිදුරටත් පවසා ඇත.

එම අවස්ථාවේදී, වෙනිසියුලාවට පැමිණ රටේ සැබෑ තත්ත්වය දැක බලා ගන්නා ලෙසත්, අර්බුදය විසඳීමට සාකච්ඡා පවත්වන ලෙසත් වෙනිසියුලා විදේශ ඇමැතිවරයා එලියොට් ඒබ්‍රාම්ස් ට දන්වා ඇත.
ඇමෙරිකා නියෝජිත එලියොට් ඒබ්‍රාම්ස් වෙනිසියුලාවට යෑම සම්බන්ධයෙන්, ඇමෙරිකා රජය මෙතෙක් කිසිවක් පවසා නැත.

ට්‍රම්ප් පරිපාලනය දිගින් දිගටම පවසා ඇත්තේ සාකච්ඡා සඳහා වෙනිසියුලා ජනාධිපති මදුරෝට අවස්ථාව ලබා දී තිබුණු බවත්, එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමක් මදුරෝ නොකළ නිසා තවත් සාකච්ඡා කිරීමෙන් පලක් නොමැති බවත්ය.

කැරැකස්හිදීය (එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS