ඇමෙරික උප ජනපති විරෝධය මැද යයි



ඇමෙරිකා උප ජනාධිපති මයික් පෙන්ස් එරට ජාතික ෆුට්බෝල් ලීගයේ තරගයක් නැරැඹීමට ගිය අවස්ථාවේදී, ෆුට්බෝල් ක්‍රීඩකයන් ඇමෙරිකන් ජාතික ගීයට විරෝධය දැක්වීමට පටන් ගැනීමත් සමඟ ක්‍රීඩාංගනයෙන් පිටවී ගොස් ඇත.

ඇමෙරිකන් ෆුට්බෝල් යනුවෙන් හැඳින්වෙන්නේ පා පන්දු ක්‍රීඩාව නොව, රගර් සහ රග්බි හා සමාන අයුරින් කෙරෙන ක්‍රීඩාවකි. ඇමෙරිකාවේ අභිමානය ලෙස මෙම ‘ඇමෙරිකන් ෆුට්බෝල්’ සහ ‘බේස්බෝල්’ ක්‍රීඩා සැලකෙයි.

ෆුට්බෝල් ක්‍රීඩකයෝ සති කිහිපයක පටන් තරග ආරම්භයට පෙර, ජාතික ගීය වාදනය වෙද්දී, සීරුවෙන් නොසිට දණ නමා ඊට විරෝධය පෑමක් සිදු කරති. විරෝධයට හේතු වී ඇත්තේ ඇමෙරිකන් නීති පද්ධතිය තුළ සහ සමාජයේ සිදුවන අසාධාරණකම් දිනෙන් දින ඉහළ යනවා යැයි චෝදනා නගමිණි.

ෆුට්බෝල් ක්‍රීඩකයන් මෙසේ විරෝධය පළ කිරීම ජාතික ගීයට අගෞරවයක් යැයි ඇමෙරිකා උප ජනාධිපති මයික් පෙන්ස් පෙන්වා දී ඇත. තරගය ආරම්භයේ දීම ඔහු ක්‍රීඩාංගනයෙන් පිටවී ගියේ සිය අප්‍රසාදය පළ කරමිණි.

ඇමෙරිකන් ෆුට්බෝල් ක්‍රීඩකයන් මෙලෙස සිය විරෝධය දැක්වීම ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ද දැඩි විරෝධයට හේතුවක් වී ඇත. යුද්ධයෙන් ආබාධිත වූ රණ විරුවන් පවා, අපහසුවෙන් වුවත් ජාතික ගීය වෙනුවෙන් නැගී සිටිමින් ඊට ගරු කරන බව ට්‍රම්ප් පෙන්වා දී ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS