ඇමසන් සංවර්ධනයට පෞද්ගලික අංශය



ඇමසන් වැසි වනාන්තරය ආරක්ෂා කර ගැනීමට, එය නිසි සංවර්ධනයට ලක් කළ යුතු යැයි පෙන්වා දෙමින්, ඊට පෞද්ගලික අංශය සම්බන්ධ කිරීම පිළිබඳ බ්‍රසීලය සහ ඇමෙරිකා එක්සත් ජනදය අතර නව ගිවිසුමක් ඇති කර ගැණුනි.

නව ගිවිසුම ඇති  කර ගැනීම සිදුවූයේ ඇමෙරිකාවට පැමිණි බ්‍රසීල විදේශ ඇමැති අර්නෙස්ටෝ අරවුජෝ සහ ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ අතරේය.

පසුගිය දිනවල ළැව් ගිනි පැතිර ගොස් මහා විනාශයක් සිදුවූයේ බ්‍රසීලයට අයත් ඇමසන් වනාන්තරයේය. ඇමසන් වනාන්තරයෙන් සියයට 60 ක් අයිති බ්‍රසීලයටය.

ළැව් ගිනි පැතිර යෑම අන් කවරදාටත් වඩා මෙම වසරේ වැඩි වූයේ බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ වැඩි ආයෝජන අවස්ථා ඇතිකර වෙනුවෙන් සමාගම් රැසකට වනාන්තරය හෙළිපෙහෙළි කිරීමටත් ගිනි තැබීමටත් අවසර දී ඇති නිසාය. මේ වසරේ  පමණක් ඇමසන් වනාන්තරයේ හටගත් ළැව් ගිනි ප්‍රමාණය 80,000 කි.

මේ සම්බන්ධයෙන් බ්‍රසීල ජනාධිපතිවරයාට පමණක් නොව, විදේශ ඇමැති අර්නෙස්ටෝ අරවුජෝ ට ද පරිසරවේදීන්ගෙන් දොස් අහන්න සිදුවී ඇත. ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල් බ්‍රසීලය සමඟ වෙළෙඳ ගනුදෙනු පවා අත්හිටුවීම කළේ මෙම ළැව් ගිනි මුල්කොට ගනිමිනි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS