ආපසු රුසියා යන්න ඇලෙක්සි නෙවල්නි සූදානම්



විෂ ශරීරගතවී දින ගණනක්, ජර්මන් රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නි යළි රුසියාව බලා පැමිණීමට සූදානම් වෙයි.

විෂක් ශරීරගත වී දින ගණනක් සිහිසුන්ව සිටි රුසියන් විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නි මේ වනවිට යහපත් සෞඛ්‍යයෙන් පසුවන බවත්, ඔහුගේ ටිකට් කැපීමට ඔහුට ප්‍රතිකාර කළ ජර්මන් වෛද්‍යවරුන් තීරණය කළ බවත් වාර්තා වේ.

ඇලෙක්සි නෙවල්නි, හිටිහැටියේ රෝගී වූයේ පසුගිය අගෝස්තු 20 වැනිදා සයිබීරියාවේ සිට රුසියාවේ මොස්කව් අගනුවර දක්වා ගුවනින් පැමිණෙද්දීය. නියමුවෝ යානය ආපහසු හැරවූ අතර, සිහිසුන් වී කෝමා තත්ත්වයට පත්වුණු නෙවල්නි, සයිබීරියාවේ රෝහලකට ඇතුළත් කෙරුණි.

එම රෝහලේ පහසුකම් නොමැති බැවින්, නෙවල්නි ජර්මනියට රැලෙන යෑම සිදුවූයේ පවුලේ අයගේ මැදිහත්වීමෙනි. නෙවල්නිගේ බිරිය ට්විටර් පණිවුඩයක් හරහා රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සහාය ඒ සඳහා අපේක්ෂා කළාය.

ජර්මන් වෛද්‍ය කණ්ඩායමක් පැමිණ නෙවල්නි, ජර්මනියේ චැරිත් නුවර රෝහලට ගෙන යන ලදී. නෙවල්නි, රෝගී වී සිහිසුන් වූයේ ස්නායු පද්ධතිය අඩපණ කරන විසක් ශරීරගතවීමෙන් බව තහවුරු විය. නිසි ප්‍රතිකාර ලැබුණු බැවින්, නෙවල්නි කෝමා තත්ත්වයෙන් මිදී ඉක්මනින් සුවය ලැබුවේය.

රෝහලෙන් ටිකට් කැපීමෙන් පසු තමන් යළි රුසියාව බලා පැමිණීමට තීරණය කර ඇතැයි නෙවල්නි පවසා තිබේ. දූෂණ විරෝධියකු ද වන නෙවල්නි, රුසියන් ජනාධිපති පුටින් දැඩි ලෙස විවේචනය කරන අයෙකි. පුටින්ගේ අනුදැනුම යටතේ නෙවල්නි ට වස දුන්නේ යැයි චෝදනා එල්ල වී ඇත.

බර්ලීනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS