අසාදු ලේඛනයෙන් සුඩානය ඉවත් කරනවා



ත්‍රස්තවාදීන්ට අනුග්‍රහය දැක්වීම සම්බන්ධයෙන්, වසර 27 ක් තිස්සේ, ඇමෙරිකාවේ අසාදු ලේඛනයට ඇතුළත් කෙරුණු අප්‍රිකා රාජ්‍යයක් වන සුඩානය, එම ලේඛනයෙන් ඉවත් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමු වී ඇත.

අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩ්න් ඇතුළු අල් කයිඩා ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට අනුග්‍රහය ලබා දුන්නේ යැයි ඇමෙරිකාව සුඩානය සිය අසාදු ලේඛනයට ඇතුළත් කළේ 1993 දීය.

එම වසරේ අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩ්න්, සුඩාන රජයේ විශේෂ අමුත්තකු ලෙස සුඩානයේ රැඳී සිටියේ, සුඩාන රජයේ ආරක්ෂාව ලබා ගනිමිනි.

අල් කයිඩා නායකයා 1998 දී අප්‍රිකා රටවල් වන කේන්යාවේත් නයිජීරියාවේත් ඇමෙරිකන් තානාපති කාර්යාලවලට අල් කයිඩාව බෝම්බ ප්‍රහාර එල්ල කළේය. ඒ සියල්ල මෙහෙයවීම කළේ සුඩානයේ රැඳී සිටි බින් ලාඩ්න්ය. කේන්යාවේත් නයිජීරියාවේත් ඇමෙරිකන් තානාපති කාර්යාලවලට එල්ල වුණු ප්‍රහාරවලින් 220 ක් ජීවිතක්ෂයට පත් වූහ.

මියගිය එම අයවලුන්ගේ පවුල්වල අය වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 335 ක වන්දියක් ගෙවන්නේ නම්, සුඩානය තම ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කරනවා යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සුඩාන රජයට දන්වා ඇත. සුඩාන අග්‍රාමාත්‍ය අබ්දල්ලා හැම්ඩොක් පවසා ඇත්තේ ඇමෙරිකන් ඩොලර් මිලියන 335 ක එම වන්දි මුදල තමන් ඇමෙරිකාවට ලබා දීමට පියවර ගත් බවය‍.

සුඩානය සිය අසාදු ලේඛනයෙන් ඉවත් කිරීමට ඇමෙරිකාව කටයුතු කිරීමත් සමඟ ඇමෙරිකාව සුඩානයට පනවා ඇති සම්බාධක ද ඉවත් වෙයි. සුඩානයේ ආහාර, ඉන්ධන සහ ඖෂධ ඉතා මිල අධික වන අතර, එම මිල පහත යෑමට සම්බාධක ඉවත් කිරීම හේතුවක් වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)‍


RECOMMEND POSTS